නුවරඑළියේ ඩිපෝවේ මුරකරු ඝාතනය කර, සල්ලි කොල්ල කාලා

නුවරඑළියේ ඩිපෝවේ මුරකරු ඝාතනය කර, සල්ලි කොල්ල කාලා

නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු අද (06) අළුයම 3.00 ට පමණ ඝාතනය කර තිබෙනවා.

මුරකරුව ඝාතනය කර එම ඩිපෝව තුළ බැංකු ගත කිරීමට තිබු රුපියල් ලක්ෂ නවයකට ආසන්න මුදලක් ද සොරකම් කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය සිදු කළ විමර්ෂණයකින් පසු ඝාතනයට සම්බන්ධ බවට සැකකරන එම ඩිපෝවේ සේවකයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම් කරන මුදලින් කොටසක් සොයාගත් බවත්, ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන පොලීසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ, එම ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ 85 හැවිරිදි ඒ.ලෝගනාදන් නමැති නුවරඑලිය ගැල්වේස් ලෑන්ඩ් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැදි සිට ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස තියුණු අයුධයකින් මුරකරුගේ හිසට පහර දී ඝාතනය කර මුදල් රැගෙන ගොස් තිබෙනවා.

ඝාතනය සිදු වු අවස්ථාවේ ඩිපෝවේ ස්ථාන භාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුළ රැදි සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ (05) දින පස්වරුවේ එම ඩිපෝවේ ධාවනය කළ බස් රථවල ආදායම බැංකු ගත කිරිම සඳහා අල්මාරියේ ලාච්චුවක තබා තිබු බවයි නුවරඑලිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියා පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඉන්දික රොෂාන් කළුආරච්චි – හැටන්
Share This