මිල්ලනියේ මහා පරිමාණ බූරු පිටියට පොලිසිය පනී

මිල්ලනියේ මහා පරිමාණ බූරු පිටියට පොලිසිය පනී

(හොරණ මානෙල් ගමගේ)
ඔත්තුකරුවන් අට දෙනකු යොදවාගෙන මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පිටියක් වටලා පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනකු සිට තිබේ.
ඔවුන් බණ්ඩාරගම, අටුළුගම, මිල්ලනිය, වාද්දුව, පොතුපිටිය, වස්කඩුව, හොරණ ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචි අවු. 30 ත් 60 ත් අතර අය බව ද අනාවරණය වී තිබේ.
වාහනවලින් පැමිණෙන මෙම පුද්ගලයින් සමිති පවත්වන මුවාවෙන් ප.ව. 2.00 ට පමණ මෙම නිවෙසට එකතු වී ජයටම බූරුපිටිය පවත්වාගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මිල්ලනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහික ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව කි.මී. 03 ක් පමණ ලඳු කැලෑ රබර් වත්තක් හා වෙල්යායකින් එගොඩව රහසිගත මාර්ගයකින් ගමන් කර පරගස්තොට, කම්බොක්කාව ප්‍රදේශයේ අදාළ නිවෙස වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම පුද්ගලයින් ස්ථාන 08 ක ඔත්තු බැලීමට කුලී පදනම මත පුද්ගලයින් ස්ථානගත කර ඇතැයි අනාවරණය වී තිබෙන අතර ඔවුන් පොලිස් නිලධාරීන්ගෙන් විමසා ඇත්තේ මෙතරම් ආරක්ෂාවක් යොදා තිබියදීත් පැමිණියේ කෙසේද කියාය.
දිනෙන් දින විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් මෙම කණ්ඩායම බූරුපිටිය පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙන බවද පොලිසිය පවසයි.
නිවැසි පුද්ගලයා බූරු පිටියේ එක් වටයකින් රුපියල් 5000ක මුදලක් ලබා ගන්නා බවත් ඊට අමතරව තෝන් මුදලක් ලබා ගන්නා බවත් ඔවුන් රැකියාව ලෙස බූරු ගැසීම සිදු කරන බවත් මෙහිදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 10000 බැගින් දඩ මුදල් ගෙවන ලෙස හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කර තිබේ.
මිල්ලනිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහිකද සිල්වා, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො. ප. අජිත් ගමගේ, පො.සැ. 70395 බණ්ඩාර, පො.කො. 106208 මධුසංඛ, 29728 ලියනආරච්චි යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

Share This