මාර්ග අංක අනුව අලුත් බස් සමාගම්

(දයාසීලි ලියනගේ)
එක් මාර්ග අංකයක් යටතේ ක්‍රියාත්මක බස්රථ සියල්ල එක් සමාගමකට පැවරීමට රජය තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙළෙහි නියාමන කටයුත්ත වශයෙන් මාර්ග අංක 01 හා මාර්ග අංක 138 යටතේ මහනුවර කොළඹ හා හයිලවෙල් පාරේ පිටකොටුවේ සිට ධාවනය වන බස්රථ සමාගම් දෙකකට පැවරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
බස්රථ හිමියන්ට ධාවනයෙන් පාඩුවක් නොලැබෙන ආකාරයට ආදායම බෙදීයාමට සැළැස්වීමත් විධිමත් ප්‍රවාහන සේවයක් සැලසීමත් මෙම වැඩපිළිවෙළේ අරමුණ බව ද අමාත්‍යවරයා පවසයි.
බහුතරයක් බස් හිමියන් සතුව එක් බස්රථයක් පමණක් පවතින අතර බස් කිහිපයක හිමිකරුවන් සිටින්නේ අතලොස්සක් බවත් ඒ අනුව එක් බස් රථයක් පමණක් ඇති හිමිකරුවන් අතිශයින් පාඩු ලැබීමත් විධිමත් ලෙස බස් ධාවනය නොකිරීමත් සිදුවන බව හෙළි වූ බව ද අමාත්‍යවරයා කීවේය.
මේ තත්ත්වය මග හරවා නියමිත කාලසටහනකට විධිමත් බස් සේවාවක් ලබාදීම සඳහා බස් සමාගම්කරණය කිරීමට තීරණය කළ බවද ඔහු කීවේය.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව හා පරිපාලන රාමුව සැකසීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.