මාකදුරේ මධූෂ් ඝාතනයට පෙර මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට යයි
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම ඝාතනය සිදුවූයේ 2020 වසරේ ඔක්තෝබර් 20 වැනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදීය. එහිදී මධුෂ් විසින් ලබාදුන් තොරතුරක් මත මත්ද්රව්ය තොගයක් භාරයට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහුව එම ප්‍රදේශයට රැගෙන ගොස් තිබියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරන ලදී.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු විසිනි. ඔහු මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා වෙත කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා විසින් එය CID වෙත යොමුකර ඇත.
විමර්ශනවලට අනුව, මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිතය. එමෙන්ම කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්ය නිලධාරියාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට සහ මාධ්ය ආයතන සතුව ඇති දර්ශන ලබාගැනීමට ද CID පියවර ගෙන ඇත.
