මහින්දානන්දගේ සහ නලින්ගේ කැරම්බෝඩ් නඩුවේ මුලික විරෝධතා ඉවතට
රජයේ මුදල් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා වන්නේ, 2015 ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාල සඳහා බෙදාහැරීමේ අරමුණින් සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීමයි. එම ක්‍රියාවලිය මඟින් රුපියල් මිලියන 39ක රජයේ මුදල් අයුතු ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇත.
මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවලදී සඳහන් කළේ, සමාන චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් ගොනු කළ වෙනත් නඩුවකදී ඔවුන්ට දඬුවම් නියම වී ඇති බැවින්, නැවත නඩු පැවරීම නීතියට පටහැනි බවයි.
කෙසේ වෙතත්, කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා එම කරුණු ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව සහ නීතිපතිවරයා විසින් ගොනු කළ වර්තමාන නඩුවේ නීතිමය පදනම් වෙනස් බවයි. ඒ අනුව, මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බව අධිකරණය තීරණය කර තිබේ.
මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වූ හිටපු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා, නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් මත නඩුවෙන් නිදහස් කර තිබේ.
නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූනි 26 දින කැඳවීමට නියෝග කර ඇති අතර, වෙනත් නඩුවක් සම්බන්ධයෙන් දැනටමත් සිරදඬුවම් භාරව සිටින අදාළ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
