මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් ඇරැඹේ

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් ඇරැඹේ

(ශිරාන් රණසිංහ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 15 වැනිදා පෙරවරු 10.00ට කඩවත අන්තර් හුවමාරු පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය.
2015.08.04 දින මෙම කොට ඉදිකිරීමට අදාළ ගිවිසුම් අත්සන් කළත් වසර 10ක් තිස්සේ එම මාර්ග කොටස ඉදිකිරීමට අපොහොසත්වීම නිසා චීන එක්සිම් බැංකුවට සහ ඉදිකිරීම් සමාගමට රුපියල් කෝටි 4600ක (බිලියන 46ක්) මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇත.
කෙසේ වෙතත් අදාළ බැංකුව හා ඉදිකිරීම් සමාගම අතර ඇති කර ගත් එකඟතා මත මෙම අධිවේගී මාර්ග කොටසෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම් වත්මන් රජය සමත්ව ඇත.
කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසෙහි ඉදිකිරීම් නිම කිරීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 36,000 ක් (බිලියන 360)ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා ඇති අතර චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා රජය එම වියදම දැරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඉදිකළ පසුව කඩවත සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ලැබේ. අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් නිම කිරීමට වැය වන මුදල රුපියල් බිලියන 258385කි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර 5 තුළ නිම කිරීමට සුලසුම වී තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් නිම කළ පසු හම්බන්තොට සිට කඩවතට පැමිණි පසු පැය 4 කට අඩු කාලයකදී මහනුවරට යෑමට හැකියාව ලැබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Share This