මත්පෙති 1400ක් සමඟ දෙදෙනෙක් කොට්ටාවේදී කොටුවෙති

මත්පෙති 1400ක් සමඟ දෙදෙනෙක් කොට්ටාවේදී කොටුවෙති

(කොට්ටාව – හෂාන් පුෂ්පික)
කොට්ටාව ප්‍රදේශයේ අවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් දෙදෙනකු මත්පෙති එක්දහස් හාරසියයක් හා තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 18දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවත්තුඩුව මූණමලේ හා මීගොඩ ප්‍රදේශවල පදිංචි (32) හැවිරිදී දෙදෙනෙකු බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ පො.සැ (70809) නිලධාරියාට ලද තොරතුරකට අනුව කොට්ටාව හතරමංහන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවෙසක් වටලා සිදුකළ පරීක්ෂාවේ දී එහි රැඳී සිටි පුද්ගලයකු සන්තකයේ තිබී මත්පෙති 1400 පොලිස් භාරයට ගෙන තිබේ.
තව තවදුරටත් නිවස පරීක්ෂා කිරීමේදී එහි රැඳී සිටි තවත් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06, අයිස් ග්‍රෑම් 02 හා මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා භාවිතා කරන විද්‍යුත් තරාදි 02, පොලිතින් ඇතුළු ඇසුරුම් උපකරණ තොගයක් භාරයට ගත් බව පැවසේ.
මෙසේ භාරයට ගත් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව පොලිසිය කියයි.
පසුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොවුන් අදාළ දෙමහල් නිවසේ එක් මහලක් රුපියල් 30,000 කුලියට ලබාගෙන එහි රැඳී සිටිමින් කලක සිට ප්‍රදේශයේ පාසල් ළමුන් උපකාරක පන්ති සිසුන් හා බස් රියදුරු කොන්දොස්තරවරුන්ට මත්පෙති හා මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවට අනාවරණය වූ බව පැවසේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මීට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි අයෙකි.
සැකකරුවන් (18) දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ද සොයිසා මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශය ස්ථානාධිපති පොලිස් සැරයන් (13048) සුදේෂ් පො.කො (96800) දිසානායක, (22865) සනූෂන්, (103782) දර්ශන, (106872) ධර්මරත්න ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

Share This