බොර තෙල් මිල නැවතත් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) උදෑසන ගනුදෙනු ආරම්භයේදීම ඉහළ ගොස් ඇත. මෙහිදී වඩාත් අවධානයට ලක්වූ කාරණය නම් ඇමරිකානු මිණුම්දණ්ඩ ලෙස සැලකෙන ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI) බොරතෙල් මිල දීර්ඝ කාලයකට පසු යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යෑමයි.

චිකාගෝ වෙළඳ මධ්‍යස්ථානයේ (Chicago Mercantile Exchange) ගනුදෙනු ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත, මැයි මාසයේ සැපයුම් වෙනුවෙන් WTI  බැරලයක මිල සියයට 1.78කින් ඉහළ ගොස් ඩොලර් 100.10ක් ලෙස වාර්තා විය.

මීට සමගාමීව යුරෝපීය මිණුම්දණ්ඩ වන උතුරු මුහුදේ ‘බ්‍රෙන්ට්’ (Brent) බොරතෙල් මිල ද සියයට 1.73ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, එහි බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 113.44ක් වශයෙනි.

යුද ගැටුම් හමුවේ බලශක්ති සැපයුම් මාර්ගවල පවතින බාධක මෙම මිල ඉහළ යාමට සෘජුලෙස බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තෙල් සැපයුම අඩාල විය හැකි බවට පවතින බිය හේතුවෙන් ආයෝජකයින් මෙලෙස ඉහළ මිල ගණන් යටතේ තෙල් මිලදී ගැනීමට පෙළඹී ඇත. මෙම මිල උච්චාවචනයන් ඉදිරි දින කිහිපය තුළ සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල ද ඉන්ධන මිල කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනු ඇත.

Share This