බාල බෙහෙත් වනසන්න සල්ලි කන්දක් පුදලා

බාල බෙහෙත් වනසන්න සල්ලි කන්දක් පුදලා

-විනීතා එම්. ගමගේ-
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් 2023 හා 2024 වර්ෂ දෙකේදී තත්ත්වයෙන් අසමත් ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය විනාශ කර දැමීම සඳහා රුපියල් දොළොස් කෝටි තිස්දෙලක්ෂ හතලිස් තුන්දහස් අටසිය අනූහයක් (123,243,896) ක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විගණනයක දී හෙළි වී තිබේ.
එයින් දසකෝටි අනූහත් ලක්ෂ පනස්හයදහස් අටසිය අනූවක් (109,756,890)ක් වැය කර ඇත්තේ 2023 වසරේ දීය. ඉතිරිය එනම් එක්කෝටි තිස් හතර ලක්ෂ අසූහත් දහස් හයක් (13487006)ක් වැය කර ඇත්තේ 2024 වසරේ දීය.
මෙම ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය විනාශ කරන අවස්ථාවන්හිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගත යුතු අතර එසේ විනාශ කරන අවස්ථාවල දී අධිකාරියේ නිලධාරියකු ද සිටිය යුතු නමුත් එවැනි කිසිවකු නැතිව එම කටයුත්ත සිදුකර පසුව දින වෙන්කිරීමේ ලිපි පිටපත් හා අපහරණය කළ බවට සහතික පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එවා තිබු බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
තත්ත්වයෙන් අසමත් බැවින් භාවිතයට නොගත් ශල්‍ය ද්‍රව්‍ය හා රසායනාගාර අයිතම අපහරණය සඳහා කිලෝවකට රුපියල් 260ක් ගෙවීමට අනුමතව තිබු අතර අවම මිල ලංසුකරු ඉදිරිපත් කළ රුපියල් 99.84ක මුදල නොසලකා මෙසේ රුපියල් 260කට ටෙන්ඩරය ලබාදී තිබු බව ද විගණනයට හෙළි වී තිබේ.
භාවිතයට නොගත් තත්ත්වයෙන් අසමත් දෑ අපහරණය සඳහා මෙම ටෙන්ඩරය ලබා දී තිබුණ ද පළාත් 6ක සායනික අපද්‍රව්‍ය ද මෙම සමාගමට දී අපරණය කළ අවස්ථා 33ක් විගණනය වූ බව ද එහි දැක්වේ.

Share This