බස්නාහිර ලේකම්වරු 8ක් ජයටම ගරානාවේ

බස්නාහිර ලේකම්වරු 8ක් ජයටම ගරානාවේ

(දයාසීලි ලියනගේ)
දූෂණය හා නාස්තිය අවම කරන බවට මේ රජය බලයට පත්වීමේ දී ජනතාවට පොරොන්දු ලබා දුන්නත් බස්නාහිර පළාත් අමාත්‍යාංශවල නියෝජ්‍ය ලේකම්වරු 8 දෙනෙක් නිවාස දීමනා හා ඉන්ධන දීමනා වශයෙන් රුපියල් ලක්ෂ හතලිහකට ආසන්න මුදලක් වාර්ෂිකව ලබාගන්නා බව වාර්තා වේ.
මෙම ලේකම්වරු සිය නිවෙස්වල සිට සේවයට වාර්තා කළත් නිවාස දීමනාව වශයෙන් වසරකට ලක්ෂ 30කට ආසන්න මුදලක් ලබා ගන්නා බව එම පළාත් සභාවේ කාර්ය මණ්ඩල ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
මීට අමතරව මෙම පිරිස මසකට ලීටර් 150 බැගින් ඉන්ධන දීමනා ලබාගන්නා බවද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඉහළ නිලධාරීන් මෙම දීමනා ලබාගන්නා අතර පළාත් සභාවේ කාර්ය මණ්ඩලයට රාජකාරියට වාර්තා කිරීම සඳහා වූ බස්රථ ධාවනය අත්හිටුවීමට සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි ද එම කාර්ය මණ්ඩල ජනාධිපතිවරයා වෙත යවන ලද පැමිණිල්ලේ දැක්වේ.
ප්‍රධාන මාර්ගයක් අසල පිහිටා නැති නිසා බස්නාහිර පළාත් සභාවේ කාර්ය මණ්ඩලයට පහසුවෙන් රාජකාරියට වාර්තා කිරීම සඳහා බස්රථ 5ක් යොදවා තිබුණත් ඒවා මෙතෙක් ධාවනය වූ වේලාවන් වෙනස් කර කාර්ය මණ්ඩලය වැඩ නිමවන වේලාවට පෙර ඒවා පිටත් වීමට සැළැස්වීමෙන් තමන් අපහසුවට පත් කර ඇතැයි ද ඔවුහු’දන්වා’සිටිති.

Share This