බලහත්කාරයෙන් විවෘත කර මාළු වෙළෙඳසැලට ප්‍රහාරයක්

බලහත්කාරයෙන් විවෘත කර මාළු වෙළෙඳසැලට ප්‍රහාරයක්

(හැටන් – රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ පැති විදියේ බලහත්කාරයෙන් විවෘත කර මාළු අලෙවි කල වෙළදසැලකට 28 දින කිසියම් පිරිසක් ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කර එම වෙළදසැලේ මාළු සහ කුකුළු මස් ප්‍රදර්ශනය කර තිබූ ශීතකරණවලට අලාභ හානි සිදු කර එම පිරිස පලා ගොස් ඇත.
සිල්ලර කඩයක් පවත්වාගෙන යෑමට අවසර ඉල්ලා එම වෙළෙඳසලේ අයිතිකරු විසින් හැටන් දික්ඔය නගර සභාව වෙත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීමට ප්‍රථම එම වෙළදසැලේ අයිතිකරු විසින් එම වෙළෙඳසැලේ මාළු, කුකුළු මස් සහ තවත් ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කරමින් සිටියදී එයට ප්‍රදේශයේ අනෙකුත් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් මතු වූ විරෝධයක් හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා සහ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් එම වෙළෙඳසැලේ අයිතිකරුවන් නගර සභාව වෙත කැඳවා ඉල්ලුම්පත්‍රයට අදාළ අනුමැතිය පිළිබඳ සලකා බැලීම 02/12 දින එක්රැස්වන හැටන් දික්ඔය නගර සභාවේ මාසික සභා රැස්වීමෙදී තීරණයක් ගන්නා නිසා 28 දින විවෘත කල වෙළදසැල නීත්‍යානුකූල නොවන බැවින්එය වසා දමන ලෙස එම වෙළෙඳසැල් හිමියාට උපදෙස් ලබා දෙනු ලැබූහ.
හැටන් පොලිසියටද මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බලපත්‍රයට ලැබෙන තෙක් වෙළඳසැල වසා දමන ලෙස වෙළඳසැල් හිමියාට උපදෙස් ලබා දි තිබියදී වෙළඳසැල් හිමියා බලහත්කාරයෙන් යලිත් වෙළඳසැල විවෘත කර මාළු වෙළදාම් කරමින් සිටියදී වෙළඳසැලට ඇතුළු වූ පිරිසක් වෙළඳසැල තුල මාළු සහ කුකුළු මස් ප්‍රදර්ශනය කර තිබූ ශීතකරණවලට සහ තවත් උපකරණ කිහිපයකට පහර දී අලාභ හානි සිදු කර පලා ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට වෙළඳසැල් හිමියාගෙන්ද පැමිණිල්ලක් කර ඇති අතර, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සහ ලේකම්වරියගේ උපදෙස් මත නගර සභාවේ ආදායම් පරිපාලකවරයා විසින් නගර සභාවේ අනුමැතියකින් තොරව මාළු වෙළඳසැලක් විවෘත කර අලෙවි කිරිම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත.

Share This