බටුවත්ත චාමරගේ බිරියගේ ලක්ෂ 400 සුපිරි නිවස තහනම් කෙරේ
ජා-ඇළ, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් (වටිනාකම රු. ලක්ෂ 400) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් දින 07ක් සඳහා තහනම් කර ඇත.
මෙම නිවස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැක කෙරෙන, විදෙස්ගතව සිටින බටුවත්ත චාමර (මනෝජ් සුරංග) ගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය මහත්මියගේ නමින් මිලදී ගෙන ඇත.
අපරාධ කල්ලි ක්‍රියාකාරකම්වලින් (මත්ද්‍රව්‍ය ජාවාරම) උපයාගත් මුදලින් මෙම නිවස මිලදී ගත් බවට සාධාරණ සැකයක් මත මෙම පියවර ගෙන ඇත.
මෙම නිවස පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ කුලියට ලබාගෙන වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. එහි සිටි වැඩිහිටියන් 09 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 04 දෙනෙකු ඉන් පිටව ගොස් ඇත.
අතීතයේදී මෙම නිවස ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම් තුනක් සිදුවී ඇත. අවසන් වරට පසුගිය 07 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇත.
මෙම නිවස සම්බන්ධයෙන් මහාධිකරණයට කරුණු වාර්තා කර තහනම් කිරීමේ නියෝගය දීර්ඝ කර ගැනීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කරන බව පවසයි.
