බංග්ලාදේශයේ නීතිය හා සාමය නරක අතට හැරෙයි

බංග්ලාදේශයේ නීතිය හා සාමය නරක අතට හැරෙයි

බංග්ලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් වෝකර්-උස්-සමාන් තම රටේ නීතිය හා සාමය වේගයෙන් නරක අතට හැරෙන බරපතල ගැටළුවක් පවතින බව පවසයි.

සමාජ දේශපාලන අර්බුදයකට තුඩු දෙන දේශපාලන කැලඹිලි වලට දොස් පවරමින් හමුදා ප්‍රධානියා පැවසුවේ තත්වය දැන් ඉතා භයානක බවත්, පුරවැසියන් නිරන්තරයෙන් එකිනෙකාට අපහාස කිරීමේ නිරතව සිටින බවත්ය. එසේම නීතිය හා සාමය බිඳවැටීමකට මුහුණ දී ඇති බැවින් මෙය සන්නද්ධ හමුදාවන්ට තවත් වගකීමක් ගෙන දෙන බව ද ඔහු පැවසීය.

හමුදා ප්‍රධානියා බංග්ලාදේශ පුරවැසියන්ට ආයාචනා කරමින් කියා සිටියේ ඔබ එකිනෙකාට තුවාල කර මරා දැමීම දිගටම කරගෙන ගියහොත්, රටේ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව අවදානමට ලක් වනු ඇති බවට මම ඔබට අනතුරු අඟවමි’යි යනුවෙනි.

පසුගිය අගෝස්තු මාසයේදී ෂෙයික් හසීනාගේ රජය පෙරළා දැමූ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විප්ලවයේ ජයග්‍රහණ ද අවදානමට ලක්ව ඇති බව ජෙනරාල් සමාන් තවදුරටත් සඳහන් කළේය. රට තුළ පැතිර ගිය විරෝධතා මධ්‍යයේ හසීනා ඉන්දියාවට පලා යාමෙන් පසු ජෙනරාල් වෝකර්-උස්-සමන් බංග්ලාදේශයේ හමුදා ප්‍රධානියා ලෙස වැඩ භාර ගන්නා ලදී.

පසුගිය මාස කිහිපය තුළ බංග්ලාදේශය ප්‍රචණ්ඩත්වය, විනාශකාරී ක්‍රියා, කැරලි කෝලාහල සහ වෙනත් ආකාරයේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක් දැක තිබේ. පෙබරවාරි වන විට එය කෙතරම් අන්තයකට ළඟා වීද යත් ආරක්ෂක හමුදාවන්ට ‘ඔපරේෂන් ඩෙවිල් හන්ට්’ නමින් ප්‍රහාරයක් දියත් කිරීමට සිදු විය.

සති තුනකටත් අඩු කාලයකදී පුද්ගලයින් 8,600 ක් අත්අඩංගුවට ගන්නා ලදී. බංග්ලාදේශ අන්තර්කාලීන රජය මෙම පුද්ගලයින්ට රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බවට චෝදනා කර තිබේ.

– සඳුනි තිලකරත්න

Share This