පොදු රාජ්ය මණ්ඩල ක්රීඩා තරගාවලියට ගොස් එංගලන්තයේ ගල් වූ ක්රීඩක ක්රීඩිකාවන් 10කට නොතීසි

(අකිලා නදීෂානි බණ්ඩාර)
2022දී එංගලන්තයේ පැවැති පොදු රාජ්ය මණ්ඩලයීය ක්රීඩා තරගාවලියට ගොස් යළි මෙරටට නොපැමිණ රජයට රුපියල් කෝටි පහකට ආසන්න පාඩුවක් කළ බව කියන ක්රීඩක ක්රීඩිකාවන් දස දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නොතීසී නිකුත් කළේය.
එම නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී එම ක්රීඩකයන් දස දෙනාට අධිකරණයේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කරන ලෙසට ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.
අසේල ද සිල්වා, චමිලා දිලානි, එස්. චතුරංග, වයි. නික්ලස්, අශේන් රශ්මික, එස්. මලින්ත, ශ්රියන්තිකා ප්රනාන්දු, සංජීව රාජකරුණ, ජීවන්ත විමුක්ති කුමාර යන ක්රීඩක ක්රීඩිකාවන් දස දෙනාට එසේ නොතිසි නිකුත් කළේය.
මෙම සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් රතු නිවේදන ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම් දැනුම්දී තිබුණි.
2022 වර්ෂයේදී එංගලන්තයේ පැවති පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා තරගාවලියට සහභාගී වීමට ගිය ක්රීඩකයන් දස දෙනෙකු එම තරගාවලියට සහභාගී නොවී පලායාම හේතුවෙන් රජයට රුපියල් කෝටි පහකට ආසන්න පාඩුවක් සිදුව ඇති බැවින් විමර්ශන ආරම්භ කර ඇති බවද එම විමර්ශන ඒකකයේ නිලධාරින් අධිකරණයට දැන්වීය.
මෙම යවන ලද පිරිස අතරින් මල්ලව පොර සඳහා සහභාගි වූ ක්රීඩකයන් 3ක් ද ,ජූඩෝ තරඟයකට සහභාගි වූ ක්රීඩකයන් 2ක් ද, බොක්ෂින් ක්රීඩකයන් 2ක් සහ වොලිබෝල් ක්රීඩකයන් 2 ක් ඇතුළු ක්රීඩික ක්රීඩිකාවන් දස දෙනෙකු එසේ පලා ගොස් නැවත ලංකාවට නොපැමිණි බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
ක්රීඩා අධ්යක්ෂක ජනරාල්වරයා විසින් තම ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදු කරන බවද එම නිලධාරිහු අධිකරණයට දැන්වූහ.
