පෙර පාසල් දරුවන්ට Online දෙන්න එපා

14 Disadvantages of Online Classes (E-Learning Drawbacks)

වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ඉගැන්වීම අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ පෙර පාසල් සහ ප්‍රාථමික අංශයේ දරුවන් ඉලක්ක කර ගනිමින් වර්තමානයේ ක්‍රියාත්මක වන මාර්ගගත සම්මන්ත්‍රණ සහ පන්ති සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇති බවයි.

අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව වයස අවුරුදු 3 සිට 5 අතර දරුවෙකුගේ ඉගෙනුම සිදුවිය යුත්තේ ක්‍රියාකාරකම් පදනම් කරගත් සහ සමාජීය අන්තර්ක්‍රියා සහිත පරිසරයක බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එහිදී තිරයක් දෙස දිගු කාලයක් බලා සිටිමින් අධ්‍යාපනය ලබා ගැනීම දරුවන්ගේ සමාජීය කුසලතා වර්ධනයට බාධා ඇති කළ හැකි අතර අවධානය රඳවා ගැනීමේ හැකියාව අඩාල වීම සහ නිර්මාණාත්මක චින්තනයටද අහිතකර බලපෑම් ඇති කළ හැකි බව ද සඳහන් කරයි.

රජයේ ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව පූර්ව ළමාවිය සංවර්ධනයේදී දරුවා සජීවීව පරිසරය සමඟ අන්තර්ක්‍රියා කරමින් ඉගෙනුම ලබා ගත යුතු බවද අමාත්‍යාංශය අවධාරණය කරයි.

කුඩා දරුවන් අධික ලෙස තාක්ෂණික මෙවලම්වලට නිරාවරණය කිරීම ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍යයට, විශේෂයෙන්ම මොළයේ වර්ධනයට අහිතකර විය හැකි බැවින් එවැනි වයස් කාණ්ඩ සඳහා මාර්ගගත පන්ති පැවැත්වීම අනුමත නොකරන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

වාණිජ අරමුණු මත සංවිධානය කරන මෙවැනි සම්මන්ත්‍රණ මඟින් දරුවාගේ අධ්‍යාපනික ප්‍රමිතිය ඉහළ නොයන බවත් එය ඔවුන්ගේ ස්වභාවික වර්ධනයට බාධාවක් විය හැකි බවත් අමාත්‍යාංශය දෙමාපියන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව දරුවන්ගේ මානසික සහ කායික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරමින් මෙවැනි ක්‍රියාකාරකම්වලට ඔවුන් යොමු කිරීමෙන් වැළකී සිටින ලෙසද අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම දරුවෙකුගේ හොඳම ගුරුවරයා ඩිජිටල් තිරයක් නොව පරිසරය සහ සජීවී අත්දැකීම් බවද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Share This