පිටබැද්දරින් විශ්මිත හමුවීමක් – මෙරට විශාලතම භූගත ජල මූලාශ්‍රය සොයාගනී

ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් පිටබැද්දර පොලිස් ස්ථානය ආසන්නයේ සිදුකළ නළ ළිං කැනීමකදී මෙරට මෙතෙක් සොයාගත් විශාලතම භූගත ජල මූලාශ්‍රයක් හඳුනාගෙන තිබේ.

එම ආයතනයේ දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා පවසන්නේ විනාඩියකට ලීටර් 10,000ක අඛණ්ඩ ජල ගලනයක් ඇති මූලාශ්‍රයක් මෙරට සොයාගත් පළමු අවස්ථාව මෙය බවයි.

මීට පෙර මෙරට විශාලතම ජල මූලාශ්‍රය ලෙස සටහන් වී තිබුණේ මඩු ප්‍රදේශයෙන් සොයාගත් මූලාශ්‍රයක් වන අතර එහි විනාඩියකට ලීටර් 7000ක පමණ ජල ගලනයක් වාර්තා වී තිබුණි.

පාෂාණ ස්ථර අධ්‍යයනය කර තාක්ෂණික මෙවලම් භාවිතයෙන් භූගත ජලය ඇති ස්ථාන හඳුනාගෙන මෙම නළ ළිඳ කැනීම සිදුකර ඇත.

ඒ අනුව ඉදිරියේදී පිටබැද්දර, මොරවක සහ අවට ප්‍රදේශවල ජල හිඟයෙන් පෙළෙන ජනතාවට මෙම ජලය බෙදාහැරීමට කටයුතු කරන බව ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

Share This