ප්‍රසන්නට ඇප

(අකීලා නදීශානි)
2021 වසරේදී ලොව පුරා ව්‍යාප්ත වී තිබූ කොවිඩ් වසංගතයට මුහුණ දී කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආපසු සිය රටට රැගෙන ඒමේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් හතළිස්හත් ලක්ෂ පනස්දහසක පාඩුවක් සිදු කිරීම සහ මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් නමැති තැරැව්කාර සමාගමට එකී මුදලට සමාන වාසියක් සිදු කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා 12දා පස්වරුවේ නියෝග කළේය.
සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඒ බව වහාම ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දීමට ද නියෝග කළේය. එම සැකකරු ප්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවීමෙන් අනතුරුව ඔහු පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනකුට දුරකථන ඇමතුම් ලබාදී ඇති බව පැමිණිල්ල කියා සිටියත් එකී ඇමතුම් මගින් කුමන ආකාරයෙන් බලපෑම් කළේ දැයි නිශ්චිතව දැනුම් දීමට පැමිණිල්ල අසමත් වී ඇති බව සිය ඇප නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එකී චෝදනා ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප මත මුදාහැරිය හැකි වැරදි බව පෙන්වා දෙමින් එම ඇප නියෝගය නිකුත් කළේය. එමෙන්ම තමා විසින් සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා එම ඇප නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.
නීතිඥ අසේල මුතුමුදලිගේ, බුද්ධික චන්ද්‍රසේකර, රජිත් සමරසේකර, යසස් හේවාපතිරණ, වජිර රණසිංහ, සරත් ද වැලිඅංගගේ, යෙනුක රාහුල් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි හා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.
