ප්‍රංශයේ වේදිකාගත කෙරෙන ඉන්දීය ”සාකුන්තලා” නාට්‍යයේ ප්‍රධාන චරිතය ලංකාවේ කෞෂාල් රණසිංහට: නාට්‍යයේ එකම ලාංකිකයා !
”කලාව” කියන්නෙ හැමෝටම පිහිටන දෙයක් නෙවෙයි. ඊට හැකියාව, දක්ෂතාව වගේම වාසනා ගුණයත් තියෙන්න ම ඕනි.
යම් කලා හැකියාවක් ඔබ සතුයි නම්, එය වැඩි දියුණු කරගෙන තමන්ව ඉහළට ඔසවා තැබීමේ වගකීම තියෙන්නෙත් තමන්ටමයි.
එහෙම ඉස්සරහට යන කලාකරුවන්ව, නතර කරන එක හරි අසීරුයි.
අපේ කතා නායකයා වුණු, ”නීතිවේදි කෞෂාල් රණසිංහ” කියන්නෙත් එහෙම චරිතයක්. කලාව තුළ ඔහු සාර්ථක දිගු ගමනක් යන අයෙක්.
කෞෂාල් ගැන අපිට ඇහෙන්නෙ, ලංකාවේ නම ප්‍රංශයේ බබළවන්න සැරසෙන නර්තන ශිල්පියෙක් හැටියට.
ප්‍රංශය කියන්නෙම, කලාව එක්ක බැඳුණු අපූරු සංස්කෘතික වටපිටාවක් සහිත සුන්දර දේශයක්නෙ.
ඉතින් ශ්‍රි ලාංකිකයෙක් වන කෞෂාල් රණසිංහ මේ වන විට සූදානමින් පසුවන්නෙ, සුන්දර ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් විසින් ප්‍රතිනිර්මාණය කරන ඉන්දීය ”සාකුන්තලා” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය එක්කාසු කරන්න.
දිනය නොවැම්බර් 30. මෙය පැවැත්වෙන්නෙ, ප්‍රංශ ජාතික කෞතුකාගාරයක් වන Musée Camille Claudel සමඟ එක්ව Nogent-sur-Seine හිදී.
කලාව වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රංශ සඟරාවක, මේ ගැන මෙයාකාරයෙන් සටහන්ව තිබුණා.
මෙම අද්විතීය සංස්කෘතික අත්දැකීම විඳගැනීමට ප්‍රංශයේ වෙසෙන ලාංකික ඔබට ආරාධනා කරන ගමන්, අපේ මේ සූදානම ‘සාකුන්තලය’ ගැනත්, ඉහත සඳහන් කළාක් මෙන් ප්‍රංශයේදී ප්‍රතිනිර්මාණය වන එහි ප්‍රධාන චරිතයට ජීවය එක්කාසු කරන ලාංකිකයා, කෞෂාල් රණසිංහ ගැනත් ඔබට කියන්න.
‘සාකුන්තලය’ කියන්නෙ ඉන්දියානු පුරාවෘත්තයක්. කාලිදාස කවියා විසින් ලියවුණු මෙම කාව්‍යය පසුකාලීනව නාට්‍ය ලෙස එළිදක්වනවා.
සාකුන්තලය යුරෝපයට සම්බන්ධ වෙන්නෙ, ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් වන කැමෛලි කලවුඩි නම් කෞතුකාගාරයට ලැබුණු එක්තරා ප්‍රතිමාවක් නිසාවෙන්.
ඒ අනුව ඔවුන් 50 දශකයෙදී, සාකුන්තලයේ කතාව සොයා ගොස් බැලේ නර්තනය උපයෝගී කරගෙන ප්‍රංශයේ දී එළිදක්වනවා.
එහෙම සාකුන්තලය යුරෝපයට ගියත් එහි ඉන්දීය අභාෂය, ඉන්දීය මූල කැපී පෙනෙනවා. ඒ කියන්නෙ ඔවුන් එහිදී භාවිතා කරන්නේ, ඉන්දියානු ඇඳුම් පැළඳුම්.
මෙම බැලේ නාට්‍ය කෙතරම් සාර්ථක වුණාද කියනවා නම්, පසුකාලීනව එම ප්‍රතිමාව මුල්කරගෙන එම බැලේ නාට්‍යයේ ඇඳුම් පැළඳුම් ද තැන්පත් කර කැමෛලි කලවුඩි කෞතුකාගාරය වෙනම කොටසක් වෙන් කරනවා, ‘සාකුන්තලය’ උදෙසා ම.
පසුකාලීනව අසූව දශකයේදීත් නැවත මෙය බැලේ නාට්‍යයක් ලෙස එළි දක්වා තිබෙනවා.
එහි මීළඟ සම්ප්‍රාප්තිය තමයි, නුදුරේදී වේදිකා ගතවීමට නියමිත. ඒ, ඉන්දියානු කතක් සහ අර්ධ සම්භාව්‍යය නිර්මාණයක් හැටියට.
මේ වේදිකා සම්ප්‍රාප්තියේදීයි, එහි ප්‍රධාන චරිතය වන දුෂ්‍යන්තගේ චරිතය අපේ කතා නායකයා කෞෂාල් රණසිංහ විසින් නිරූපණය කරන්නෙ.
කෞෂාල් ජීවත් වෙන්නෙ ප්‍රංශයේ පැරිස් නුවර. ඔහු අන්තර්ජාතික ආයතනයක මානව හිමිකම් සම්බන්ධව සහ තරුණ ප්‍රජාව සම්බන්ධව ප්‍රධාන Advocay නිලධාරියා විදිහට කටයුතු කරනවා.
ඒ විතරක් නෙවෙයි, ප්‍රංශයේ සිටින සරණාගතභාවය අපේක්ෂා කරන්නවුන් වෙනුවෙන් නීතිමය ආධාර සිදු කරන ආයතනයකත් කෞෂාල් වැඩ කටයුතු සිදුකරනවා.
මේ දේවල් එක්ක, මානසික සුවය උදෙසා විනෝදාංශයක් ලෙස තමන් නර්තනය සිදුකරන බවයි ඔහු නම් කියන්නෙ.
”ඇත්තටම මට මුලින්ම නර්තනය කියන විෂය ජීවිතයේ ප්‍රධානම දේ බවට පත්කර ගන්න අවශ්‍යතාවය තිබ්බා.
ඒ වගේම නීතිය සහ මානව හිමිකම් අංශයෙන් ඉදිරියට යන්නත් අවශ්‍යතාවය තිබ්බා.
ඉතින් මේ තීරණ දෙක අතර දෝලනය වෙලා මම තෝරගත්තේ නීතිය සහ මානව හිමිකම් කියන අංශය.
සමහරවිට මම මේ තීරණය ගන්නකොට ප්‍රංශෙ ජීවත් වුණා නම් ඒක වෙනස් වෙන්න තිබ්බා.
ඒකට හේතුව තමයි මෙහේ නර්තන ශිල්පියෙක්ට තියෙන වටිනාකම, ඇගයීම සහ ආර්ථික හැකියාව.
නමුත් ලංකාවේ නර්තන ශිල්පියෙක් කියන්නේ ගොඩක් අසීරුතාවලට මුහුණ දෙන කෙනෙක්.
ඒ වගේම මගේ දෙමවුපියනුත් කියපු දේ තමයි ‘ඔයා නීතිඥවරයෙක් වුණොත් ඔයාට ගැටළුවක් නැතුව නර්තනය සතුටින් හදාරන්න පුළුවන්!’ කියලා.
ලංකාවේදී මං ඒකට එකඟ වෙනවා…”
එහෙම බැලුවාම කෞෂාල්ගේ නර්තන හැකියාවට නියම වටිනාකම ලැබෙන්නෙ, ප්‍රංශයේදී.
”ඇත්තටම මම ලංකාවේ නර්තනය ඉගෙන ගත්තේ මගේ විනෝදාංශය සඳහා පමණයි. එහිදීත් මම කතක් නර්තනය තෝරගන්නවා.
මට ලංකාවෙදි මෝක්ෂා සමරසූරිය නැමැති ප්‍රවීණ කතක් ගුරුවරියගෙන් ඒ විෂය හොඳින් හදාරන්න ලැබෙනවා.
ඊට කලින් මම දේශීය නර්තනය පාසලේදී සහ රවිබන්දු විද්‍යාපති ගුරුවරයා යටතේ ඉගෙන ගන්නවා.
ඉතින් ප්‍රංශයට ජීවත් වෙන්නට ආවට පස්සෙත් මම නර්තනය ඉගෙන ගන්න අතරෙ මෙහේ ඉන්න අයට නර්තනය උගන්වන්න පටන්ගත්තා.
ඒ අතර තමයි පැරිසියේ ඉන්දියානු නර්තන පාසලක් වන “ත්‍රිවාත්” නර්තන පාසලෙ ඩිරෙක්ටර් මාව දැන ගන්නේ.
ඔහු මට කතා කරනවා දුෂ්‍යන්තගේ චරිතය සඳහා ඔඩිෂන් එකට එන්න.
පසුව ඔවුන් මාව තෝරාගත් බව දැනුම් දෙනවා.
මම හිතනවා මගේ ජීවිතයේ නර්තනය සම්බන්ධව ලැබිච්ච ලොකු ජයග්‍රහණයක් ඒක.
අද මේකේ ඉන්න අනික් හැම නර්තන ශිල්පියෙක්ම ඉන්දියානු සහ ප්‍රංශ ජාතිකයින්.
සහ මේ production එක ඉදිරිපත් වෙන්නේ ජාතික කෞතුකාගාරයක් යටතේ !…”
කෞෂාල් අද ජාත්‍යන්තරයේ කතාබහට ලක්වුණත්, ඔහුට සිය මූලයන් අමතක නොවීම විශේෂයි.
”පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඒ දවස්වල මට ප්‍රසිද්ධම චරිතයක් බවට පත්වෙන්න පුළුවන් වුණේ නර්තනය නිසායි.
ඒ වෙනුවෙන් මම මුල් ගුරුවරුන්ට මගේ කෘතඥතාවය දක්වනවා.
ඒ අතරතුර තමයි මම රවි බන්දු විද්‍යාපති ගුරු පියාණන්ගෙන් ඉගෙනගන්නේ.
ඒ වගේම කතක් නර්තනය සඳහා මෝක්ෂා සමරසූරිය ගුරු මෑණියන් ගාවට යනවා.
ඒ අතරතුර මම විශ්වවිද්‍යාලය නියෝජනය කරලා, අන්තර් විශ්වවිද්‍යාල නර්තන තරගාවලියක් වන ටැන්ටලයිස් (Tantalize) තරගාවලියේ ශූරතාවය ලබා ගන්නවා…”
නීතිය සහ නර්තනය එක්ක විතරක් ම නෙවෙයි කෞෂාල් රණසිංහ කියන නම ප්‍රසිද්ධ.
ඔහු රූපවාහිනි නිවේදකයෙක් ද වෙනවා.
පාසල් කාලයේ ම ඇරඹි සිය මාධ්‍ය ජීවිතය තුළින් ළමා නිවේදකයෙක්ගේ තැන සිට ජනප්‍රිය රූපවාහිනී පුවත් නිවේදකයෙක් දක්වා පැමිණි සොඳුරු ගමනක් ඔහු සතුයි.
ඒ විතරක් නෙවෙයි, කෞෂාල් කියන්නෙ දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක්.
කෞෂාල් රණසිංහ කියන නම තවත් පැත්තකින් කතාබහට ලක්වෙන්නෙ, මෙරටදී ‘සමරිසි සහ සංක්‍රාන්තික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්’ හඬ නැඟීමත් එක්ක.
”මම ලංකාවෙදි සමරිසි සහ සංක්‍රාන්තික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟුවා.
එහි එක්තරා ප්‍රතිඵලයක් විදිහට පරිවර්තන චිකිත්සක සහ තහනම් කිරීමේ පාර්ලිමේන්තු මන්ත්‍රී පනත පවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා.
ඒ වගේම ‘හතේ අපේ පොත’ කාරක සභාවට සහ අන්තර්ජාතික මට්ටමෙන් ලංකාව විවිධ සම්මේලනවල නියෝජනය කරා.
අද වෙනකොට මම යුරෝපයේ ඒ සම්බන්ධව කටයුතු කරගෙන යනවා.
ඉතින් මම හිතනවා මගේ වෘත්තිය ජීවිතයත් නර්තන ජීවිතයත් සාර්ථකයි කියලා…”
සමාජ ක්‍රියාකාරිකයෙක් හැටියට කෞෂාල්, සිය පෞද්ගලික ජීවිතය ගැනත් විවෘතව ම කතා කරන කෙනෙක්. විශේෂයෙන් ම ආදරය ගැන.
”ආදරය කරන එක හැංඟිලා කරන්න ඕන දෙයක් නෙවෙයි.
ඒක සමරිසිද විෂමරිසිද කියන කාරණාව නෙමේ අපි කල්පනා කරන්න ඕනේ, ජීවිතයට ගැළපෙන සහ ජීවිතය පෝෂණය වන කෙනෙක්ට ද ආදරේ කරන්නේ කියන කාරණාව.
මම සතුටු වෙනවා අද වෙනකොට ලංකාවේ සමරිසි ප්‍රජාවගේ ආදර සබඳතා එළි බැහැලා තියෙන එක සහ ඒකට ලැබෙන ප්‍රගතිශීලී ප්‍රතිචාර සම්බන්ධව.
ඇත්තටම ලංකාවේ තරුණ ප්‍රජාව මටත් මගේ ආදරය කරන පෙම්වතා සම්බන්ධව දක්වන ආදරණීය ප්‍රතිචාරවලට ස්තුතිවන්ත වනවා.
අපිට ඕනේ සමරිසි සම්බන්ධතාවයක් කියන්නේ හුදෙක් ලිංගික සම්බන්ධතාවයක් නොව ආදරණීය සම්බන්ධතාවයක් බව ඔප්පු කරන්නයි.
ඒ වගේම ප්‍රංශයේ අපි සමරිසි ආදරවන්තයින් විදියට භුක්ති විඳින නිදහස සහ ආරක්‍ෂාව සම්බන්ධව ලංකාවේ ප්‍රගතිශීලී කතාබහක් ඇති කරලා ලංකාවේ ඒ තත්ත්වය උදා කරන්න.
ලංකාවේ අනාගතය දිහා සුබවාදීව බලමු !”