පසුගිය ආණ්ඩුවේ ලොක්කෝ මාසිකව ලක්ෂ 75ක් වැය කළ හැටි හෙළිවෙයි

(මුදිතා දයානන්ද , නිශාන්ත කුමාර බණ්ඩාර)
පාර්ලමේන්තුවේ හිටපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකරු ඇතුලු සංවිධායකවරුන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඳහා මාසිකව සිදුකළ රුපියල් ලක්ෂ හැත්තෑපහක වියදමක් දරා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලමේන්තුවේදි හෙලි කරයි.
එම වියදම වත්මන් ආණ්ඩුව යටතේ මාසිකව රුපියල් 180,000 දක්වා ආසන්න වශයෙන් ලක්ෂ 73න් පමණ අඩුකර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන්ගේ පාලනය පැවති මාස 49ක කාලය සඳහා ආණ්ඩු පක්සයේ සංවිධායක කාර්යාලයේ වැටුප් හා දීමනා වියදම රුපියල් ලක්ෂ 3773ක් බවද අමාත්‍යවරයා පවසයි.
ජයතිස්ස මහතා මේ බව පැවසුයේ ජනාධිපති හා අගමැති වැය ශීර්ෂ පිළිබඳව ඊයේ (27) පැවති විවාදයට එක් වෙමිනි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර හැම විටම අමාත්‍යවරයෙකුට හිමි වු අතර අමාත්‍යවරයාට ඇමති වැටුපක් හිමිව තිබියදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසද රුපියල් 16250ක වැටුපක් හා මාසිකව ඉන්ධන ලීටර් 600ක් ලබාගෙන ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න රණතුංගත්, නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකරුන් ලෙස සාගල රත්නායක හා ජයන්ත කැටගොඩ ලෙස දෙදෙනෙක්ද, සහාකාර සංවිධායකවරුන් ලෙස කෝකිලා හර්ෂනී, තිස්සකුට්ටි ආරච්චි හා මධුර විතානගේ යන තිදෙනෙකුද ලෙස සංවිධායකවරු හය දෙනෙක් පත් කර ඇති බවද ජයතිස්ස මහතා පවසයි.
පාර්ලිමේන්තවේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නිත්‍ය කාර් මණ්ඩලයට අමතරව මේ හය දෙනාට කාර්ය මණ්ඩලය ලෙස 60 දෙනෙක් පත් කරඇති බවද ඔවුන්ට සියලු දෙනාට වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව රුපියල් 74,37,255ක් වැය කර ඇති බවද ඒ අනුව පසුගිය ආණ්ඩුවේ මාස 49ක කාලය සඳහා රුපියල් ලක්ෂ 3773ක් වැය කර ඇතැයිද අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මීට අමතරව සහකාර හා නියෝජ්‍ය සංවිධායකවරුන් වෙනුවෙන් කුලී පදනම මත මවාහන ලබාගැනිමට 2023දෙසැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා රුපියල් 24,90,500ක් වැය කර ඇතැයිද් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසයි.