පක්ෂ විපක්ෂ එකතු කළ 1990 සුවසැරිය ගිලන් රථය

“සුවසැරිය” නව ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ – වාර්ෂිකව මිලියන 25ක් ඉතිරි
1990 සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා නව ප්‍රධාන කාර්යාලය අද (04) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙම නව කාර්යාලය කොළඹ 07 හි හොර්ට්න් පෙදෙසේ අංක 43 ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, පෙර සිට 2016 වසරේ සිට රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සිදු විය.
රජයේ ආයතන පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යාම හේතුවෙන් ඇතිවන අධික කුලී බර අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ, මෙම කාර්යාලය රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් ගොඩනැගිල්ලකට මාරු කර ඇත. ඒ අනුව වාර්ෂිකව රුපියල් මිලියන 25ක මුදලක් ඉතිරි වන බව අනාවරණය විය.
උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, “සුවසැරිය” සේවාව ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ආරම්භ වී අද වනවිට ස්ථාවර හා විශ්වාසනීය සේවාවක් ලෙස වර්ධනය වී ඇති බවයි.
මෙම සේවාව ආරම්භ කිරීම සඳහා විශේෂයෙන් හර්ෂ ද සිල්වා මහතා, එවකට රජය සහ ඉන්දියානු රජය ලබාදුන් දායකත්වය විශේෂයෙන් අගය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද, ඉන්දියානු රජය විසින් අනාගතයේදී තවත් ගිලන් රථ ලබාදීමටද කැමැත්ත පළ කර ඇති බව සඳහන් වේ.
සේවාවේ වර්තමාන තත්ත්වය
- දිවයින පුරා ගිලන් රථ 322ක් සේවයේ
- දිනකට දුරකථන ඇමතුම් 5000කට වැඩි ප්‍රමාණයක්
- දෛනිකව 1000කට වැඩි හදිසි අවස්ථා සම්බන්ධයෙන් සේවා සැපයීම
“ජීවිතයක් සුරැකීම” ප්‍රධාන අරමුණ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සේවාව, මහජනයාට නොමිලේ ලබාගත හැකි හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවකි.
ඉදිරි සැලසුම්
2026 අවසානය වනවිට මෙම සේවාව තවදුරටත් පුළුල් කර රටපුරා පොලිස් ස්ථාන 400ක් ආවරණය වන ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම සේවාව ලෝක මට්ටමින්ද උසස් හා වේගවත් ගිලන් රථ සේවාවක් ලෙස ඇගයීමට ලක්ව ඇති අතර, 2016දී ආරම්භ වූ “සුවසැරිය” සේවාවට මේ වසරේ වසර 10ක් සපිරේ.
