නේපාල Gen – Z වලින් උගත යුතු පාඩම!

නේපාල Gen – Z වලින් උගත යුතු පාඩම!

(ශිරාන් රණසිංහ)
නේපාලය ගිනිබත් වෙමින් තිබේ. නේපාලයේ තරුණයන් නැගිට අරගලයක් දියත් කර ඇත්තේ තෙල්, බෙහෙත්, ගෑස් ඉල්ලමින් නොව ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය 26ක් ඉල්ලමිනි. ලෝකය උඩු යටිකුරු වී ඇති අයුරු නේපාලය දෙස මදක් නෙත් යොමු කිරීමෙන් තේරුම්ගත හැකි බව අපගේ වැටහීමය.
නේපාලය යනු දකුණු ආසියාවේ නොදියුණු රටකි. අපේ මිතුරෙකි. අසල්වැසියෙකි.
නේපාල සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරට රජය යම් තීරණයක් ගත්තේ මේ විනාශකාරී සමාජ මාධ්‍යවලින් දරු පැටව් රැක ගැනීමේ යහපත් අරමුණිනි. එහෙත් තරුණ තරුණියන් වීදි බසින්නට වුහ. සමාජ මාධ්‍ය තහනම් කිරීමට පෙරාතුව එරට රජය ජනතාවට දැනුම් දී තිබුණේ සමාජ මාධ්‍ය භාවිතයට අදාළව රජයේ ලියාපදිංචි වන ලෙසය. එහෙත් අදාළ කාල සීමාව තුළ ලියාපදිංචිය සාර්ථකව සිදු නොවු නිසා සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරට පියවර ගනු ලැබීය.
ඉකුත් සඳුදා (08) තරුණ තරුණියන් වීදි බැස්සේ Gen – Z විරෝධතා සටන් පාඨ කියමිනි.
විරෝධතා මත සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව එරට සන්නිවේදන හා තොරතුරු ඇමැති ප්‍රින්ච් සුබා ගුරුන්ග් ප්‍රකාශ කළත් විරෝධතා නතර වූයේ නැත.
නේපාලයේ කත්මන්ඩු අගනගරයට රැස් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු තරුණ තරුණියන් මෙකී සමාජ මාධ්‍ය තහනමට විරෝධය පළ කරමින් පොලිස් හා ආරක්‍ෂක අංශ සමඟ ගැටුම්වලට ගිය පසු තත්ත්වය තවත් භයානක තලයකට ගලා ගියේය.
පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් මොන තරම් උත්සන්න වී ගියෙ ්ද යත්  09දා වන විට විරෝධතාකරුවන් 19ක් මියගොස් සිය ගණනක් තුවාල ලබන තැනට පත්ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. පොලිස් නිලධාරීන් ද මෙම ගැටුම්වලින් තුවාල ලබා සිටිති.
විරෝධතාකරුවන් ගල්මුල්, පොලු මුගුරු අතට ගෙන රජයේ කාර්යාලවලට පහර දෙන්නටත් ඒවා අල්ලා ගන්නටත් පෙළඹුණේ පවතින පාලනය අස් වීයා යුතු බවට සටන සම්පූර්ණයෙන් ම වෙනස් මඟකට ඇද දමමිනි. නේපාලයේ පාලන බලය බිඳ දැමීමට යම්කිසි කුමන්ත්‍රණයක් දියත් වී තිබේද යන්න පවා දැන් සොයාගත නොහැකි තැනට ප්‍රශ්නය දිග්ගැස්සී ගොසිනි. කත්මන්ඩු අග නගරයෙන් පිටත ප්‍රදේශවලටත් විරෝධතාව තීව්‍ර වී ගොසිනි.
ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය නේපාලයේ මිලියන ගණනක් පරිශීලනය කරති. ප්‍රවෘත්ති විනෝදාස්වාදය, ව්‍යාපාර ආදී කටයුතු සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස් මේ විරෝධතාවල පෙරමුණ ගෙන ඇත්තේ ඒ අයගේ ආදායම් ඉපැයීම් මෙම සමාජ මාධ්‍ය මත පතිත වී තිබීම නිසාය.
ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ, අන්තර්ජාලය හරහා සිදුවන වංචනික ක්‍රියා මැඬපැවැත්වීම සඳහා එරට රජයේ සමාජ මාධ්‍ය 26ක් තහනම් කරනු ලැබිණි. enough is enough, end of corrupation ආදී පුවරු මෙන්ම Gen – Z පුවරු රැගෙන තරුණ තරුණියන් විරෝධතාවේ නිරත වෙද්දී තවත් පිරිසක් අගමැති කේ. පී. ෂර්මා ඔලීගේ උපන් ගම වන ඩමාක්හි පිහිටි නිවෙසට ද ගල්මුල් ගසන්නට වූහ.
විරෝධතාව මර්දනය කිරීමට ගත් පියවර හමුවේ ස්වදේශ කටයුතු ඇමැති රමේෂ් ලේඩක් ඉල්ලා අස් වී ගියේය.
දැන් නේපාල රජයත් දැඩි අවධානමකට තල්ලුවී ගොස් සිටිති.
ඉන්දියාව ද නේපාලයේ ඇති වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිල්ලක් යොමු කර ඇත. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් යම් නියාමනයක් ඇවැසිය. ශ්‍රී ලංකාවේද මේ වන විට සමාජ මාධ්‍ය නිසා ප්‍රශ්න ගණනාවක් පැනනැඟී ඇත.
ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ, පෞද්ගලිකත්වය කෙළෙසීම ආදියේ සිට සමාජ මාධ්‍ය හරහා සමාජයේ හර පද්ධති බරපතළ ලෙස බිඳ වැටෙමින් තිබෙන බව ද අප පිළිගත යුතුය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙරාතුව එක්තරා සමාජ මාධ්‍යකරුවෙන් සිය යූ ටියුබ් නාළිකාව හරහා ‘අනාවැකියක්’ පළ කළ හැටි මතකය.
එකී අනාවැකිය නැගලා ගියේ කී දේ ඒ අයුරින් සිදු වු බැවිනි. යම් යම් පාර්ශ්ව එය අධිකරණයට කළ අපහාසයක් යැයි පෙන්වා දුන්නේය. තවත් අය කියන්නට වුයේ එය අනාවැකියක් බවය. කෙසේ හේ ඒ ප්‍රශ්නය යට ගියේය.
මේ අතර ඊයේ පෙරේදා දිනෙක කොළඹ සිට වැලිමඩ දක්වා බසයක නැඟී ගමන් ගත් තරුණයෙක් පාර වැරදී ගියේ බසයෙන් බැසිය යුතු තැන බැසීමට නොහැකි වීමෙනි. රාත්‍රි ඝන අන්ධකාරයේ පාර වැරදී ඔහු නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයට ගොස් ඇත. ගමේ අය මේ තරුණයා අල්ලා ගත්තේ ‘හොරෙක් හොරෙක්’ යැයි කියමිනි. මිනිස්සු ඔක්කොම නුවණැත්තෝ නොවන බැවින් මෝඩයන් පිරිසක් සිය ජංගම දුරකථන ගෙන මේ තරුණයාව වීඩියෝ කළේ “හොරා හොරා” යැයි හංවඩු ගහමිනි. අතින් පයින් ද පහර පිට පහර කෑ තරුණයා මහ කරදරයක පැටලිණ. ඉන් පසුව ජීවිතය බේරාගෙන අනූනමයෙන් ගැලවී ආවත් සමාජ මාධ්‍ය හරහා එම තරුණයාගේ ජීවිතය විනාශ කර දමා තිබිණි. “හොරා හොරා” කියා මිනිස්සු කියන්නට ගත්තේ අදාළ වීඩියෝ දර්ශන සංසරණය කරමිනි. සිත් තැවුලට පත් තරුණයා සියදිවි නසා ගත්තේ සමාජ මාධ්‍ය කෙරුවාවට වන්දි ගෙවමිනි. වරද ෆේස් බුක් සොයාගත් මාර්ක් සකර්බර්ග් ගේ හෝ අනෙකුත් සමාජ මාධය සොයාගත් අයගේ නොව මේවා භාවිත කරන අයගේ වරද නිසා ය. අද නේපාල ආණ්ඩුව පෙරළන තැනට ‘සමාජ මාධ්‍ය’ තහනම් කිරීම පත්ව ඇත. ඇත්තටම ලෝකයේ බොහෝ දියුණු රටවල්වල දැනටමත් සමාජ මාධ්‍ය භාවිත කිරීමට අදාළ නව නීති රෙගුලාසි හා සීමා දමා ඇත. 2022 දී අරගලයක් හමුවේ රාජපක්‍ෂයා ඔටුනු අතහැර පලා ගිය හැටි මතකය. අන්තර්ජාල හොරකම් ද දරුණු අතට පත්ව ඇත. සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ යම්කිසි නියාමනයක් වහා සැකසිය යුතුව ඇත. තව තවත් එය පමා නොකර on line පනත ගෙනා යුත්තේ මෙය බරපතළ සමාජ ව්‍යසනයක් වන්නට පෙරාතුවය.

Share This