නුගේගොඩ රැලියට කලින් මා හිරගෙදරට යවන්න හදනවා

නුගේගොඩ රැලියට කලින් මා හිරගෙදරට යවන්න හදනවා

ඊයේ අල්ලස් කොමිසමට ගෙන්වා ගත් රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු යොදා ගෙන මට එරෙහිව පැමිණිල්ලක් සටහන් කර ගත්තා. එම පැමිණිල්ලෙන් කියැවුණේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව මා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කළ ප්‍රකාශ තුළින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කීර්ති නාමයට හානි සිදු වුණු නිසා දූෂණ විරෝධී පනතේ 125 වගන්තිය යටතේ මම දඬුවම් ලැබිය හැකි වරදක් කර තිබෙන බවයි.
ඒ පැමිණිල්ල කරන්න පැමිණිලිකරුට තිබුණු වුවමනාවට වඩා ඒක සටහන් කර ගන්න නිලධාරීන්ටයි වුවමනාව තිබුණේ. රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් පැමිණිලි කරන්න ආවත් ඒ පුද්ගලයා සතුව ඒ සංවිධානයේ ලියාපදිංචි සහතිකය තිබුණේ නෑ. අවම වශයෙන් ලියාපදිංචි අංකයවත් තිබුණේ නෑ. දූෂණ විරෝධී පනතේ 125 වගන්තිය යටතේ පැමිණිල්ල කරනවා කියන එකත් නිලධාරින් තමයි සටහන් කළේ. ඔහුට ඒ ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒ සියල්ල දාලා මේ මේ ප්‍රකාශය සකස් කර ගන්න අල්ලස් කොමිසමේ නිලධාරීන් කටයුතු කර බවයි අපිට දැන ගන්නට ලැබුණේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ, පැලවත්තේ ජවිපෙ මූලස්ථානයේ සහ අමාත්‍යාංශවල සිදුවන දේවල් පිවිතුරු විමසුම් කවය විසින් අපට ක්ෂණිකව වාර්තා කරනවා වගේම අල්ලස් කොමිසම තුළ සිදු වන දේවල් ද අපට ක්ෂණිකව වාර්තා වෙනවා.
අපි සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු තෝරා ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලැබූ මාධව තෙන්නකෝන් මහතා වෙනුවට රංග දිසානායක මහතා පත් කර ගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ සභානායකවරයාගෙත් මැදිහත් වීමෙන් සිදුවුණ දූෂිත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස බවයි. අපි ඒවා කිව්වේ ඕපදූප අනුව නොවේ. ශේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර තිබෙන දිවුරුම් ප්‍රකාශවල සටහන් කරුණු උපුටා දක්වමින්. දූෂණ සොයන කොමිසමේ ලොක්කා පත් වන්නේ දූෂිත මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් නම් ඊට වඩා බරපතළ දූෂණයක් රටක තවත් වෙන්න පුළුවන්ද? අපි ඒ වැරැද්ද පෙන්වා දුන්නාම වරද නිවැරදි කරනවා වෙනුවට දූෂණ සොයන්න ආපු ආණ්ඩුව ඇත්ත හෙළිදරව් කිරීමේ වරදට අපිව හිරේ දාන්න කුමන්ත්‍රණය කරනවා. නොවැම්බර් 21 නුගේගොඩ පැවැත්වෙන මහජන හඬ රැළියට කලින් මාව අඩුම සති දෙකක් ඇතුළේ තියන එක තමයි ආණ්ඩුවේ සැලසුම.
“ගම්මන්පිල සිර ගෙදරට” නාඩගමේ සත්වන ජවනිකාව තමා දැන් රඟ දක්වමින් තියෙන්නේ . මීට කලින් සය වතාවක් මාව අත්අඩංගුවට ගැනීමට මේ ආණ්ඩුව හැදුවත් ඒ පදනම් විරහිත ද්වේශසහගත අත්අඩංගුවට ගැනීම් නීතිපතිතුමාගේ මැදිහත්වීමෙන් අධිකරණයේ මැදිහත්වීමෙන් ඒවා මගහරින්න අපට පුළුවන් වුණා.

Share This