නව තාක්ෂණය සමඟ බද්ධ වූ අධ්‍යාපනික ප්‍රතිපත්තියක් කරා රට යොමු කරනවා

(මහනුවර – එස්.කේ. සමරනායක)
දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම සහ අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීම වෙනුවෙන් වත්මන් රජය කැප වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
නව තාක්ෂණය, ඩිජිටල් ලෝකය සහ කෘතීම බුද්ධිය සමඟ බද්ධ වුණු අධ්‍යාපනික ප්‍රතිපත්තියක් කරා රට යොමු කරන බව ද ඇය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලද්දේ නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සියම් මහ නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමේ අවස්ථාව සඳහා අද (08) සහභාගීවෙමිනි.
මල්වතු මහ විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරිය මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටු අතර අනතුරුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළාය.
නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ අනුව 06වන ශ්‍රේණිය සඳහා මේ වන විට ග්‍රන්ථ 106ක් මුද්‍රණය කොට ඇති බවත් එහි දෙවන සහ තෙවන වාරයන් වෙනුවෙන් ග්‍රන්ථ මුද්‍රණය කිරීම ඉදිරියේදී සිදුවන බවත් ඇය කීවාය. අධ්‍යාපනික පද්ධතිය තුළ දුර්වලතා මතු වන සෑම අවස්ථාවකදීම රජය මැදිහත්වන බව කී ඇය එම අඩු ලුහුඩුකම් වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම රජයක් වශයෙන් ගන්නා බව ද කීවාය.
ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව වර්ෂ 10ක පමණ කාලයකින් යාවත්කාලීන වී නොමැති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට පවතින අඩු පාඩු නිවරැදි කොට වඩාත් විශ්වාසනීය අධ්‍යාපනයක් දූ දරුවන් වෙත ලබා දීමට පියවර ගන්නා බව කීවාය. නව රජයක් වශයෙන් පවතින දේශපාලන සමාජ තත්ත්වය වෙනස් කිරීම සඳහා වගකීම භාර ගත් අයුරින් ද බාධක මැද අධ්‍යාපනය විශ්වාසනීය තත්ත්වයක් කරා යොමු කිරීමට කටයුතු කරන බවත් පොත් මුද්‍රණයේදී සිදුවූ ගැටලුව සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ ස්වාධීන පරීක්ෂණ පැවැත්වෙන බව ද අග්‍රාමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය මෙනවිය වැඩිදුරටත් සඳහන් කළාය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, නීතිඥ තුෂාරි ජයසිංහ, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
