නවීන සුඛෝපභෝගී රථ වාහන 20ක් හොර පාරෙන් එකලස් කරලා – පුද්ගලයන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් එකළස් කරන ලද නවීන සුඛෝපභෝගී රථ ඇතුළු වාහන 20ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් පරීක්ෂණ අනුව, මෙම වාහන සංවිධානාත්මක අපරාධ සඳහා යොදාගෙන ඇති බවටත්, ඒවා එකළස් කිරීම සඳහා පොලිස් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලැබී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකි.
සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව, මීගහවත්ත සහ මොනරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම වාහන සොයාගෙන ඇති අතර, මෙවැනි නීත්‍යනුකූල නොවන වාහන 40කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇත.
පොලිස් භාරයට ගත් වාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ, ජීප්, වෑන්, ලොරි සහ යතුරුපැදිද ඇතුළත් වේ.
එමෙන්ම තමන්ගේ වාහනය සොරකම් වී හෝ අස්ථානගත වී ඇත්නම් 0112947780 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ බල ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
