නවගමුවේ වෙඩි තැබීමක් අයෙක් මරුට

නවගමුවේ වෙඩි තැබීමක් අයෙක් මරුට

(කොට්ටාව හෂාන් පුෂ්පික)
කඩුවෙල කොරතොට මැණිකාගාර පාරේ නිවසකට පැමිණි නාදුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව නවගමුව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා අවුරුදු 28 පමණ පුද්ගලයකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා සහ තවත් තිදෙනකු ඉහත ලිපිනයේ මසක පමණ සිට තාවකාලිකව රැඳී සිටින අතර 01 දා සවස ඉන් එක් පුද්ගලයකු බැහැරට ගොස් ටික වේලාවකට පසුව එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු මෙසේ වෙඩි තබා පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පැවසේ.
සිද්ධියෙන් අනතුරුව බැහැරට ගිය පුද්ගලයාට තුවාලකරුවෙකු කළ දැනුම් දීමකට අනුව ඔහු යලි නිවසට පැමිණ සිද්ධිය පොලිසියට දැනුම්දී තුවාලකරුවන් අතුරුගිරිය දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර පසුව ඉන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන් මේ වනවිට දැඩි සත්කාර ඒකකගේ ප්‍රතිකාර ලබන බවත් පැවසේ.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ රන්න වාඩියගොඩ (26) සහ දෙමටගොඩ ගැටවල මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
වෙඩි වැදීමෙන් (28) හැවිරිදි සංකල්ප නැමැත්තකු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර එම ස්ථානයේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවිවලට යොදන හිස් පතොරොම් කොපු 13 තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසුව තුවාල කරුවන් සමග එකට රැඳී සිටි බෙන්ගල්ල ඕපාත ප්‍රදේශයේ පදිංචි (34) හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඩුබායි හි සැගව සිටින වනාතේ චතු සහ වනාතේ දුමින්ද යන දෙපාර්ශවය අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වනාගේ චතු යන අයගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවට පොලීසියට සැක මතු ව තිබේ
ඒ අනුව අංශ කිහිපයක් ඔස්සේ පොලිසියේ විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය පරීක්ෂණ පවත්වති.

Share This