ධම්මිකට අධි චෝදනා

(අකිලා නදීෂානි බණ්ඩාර)
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට මෙම සතිය ඇතුළත අධි චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම 13දා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණයට දන්වා සිටියේ මෙම සතිය ඇතුළත සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සැකකරු දැනුවත් කර ඇති බවද ඇය අධිකරණයට දැන්වුවාය.
සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මනුජ ද සිල්වා තම සේවාදායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහෙස්ත්‍රාත්වරයා විදෙස් ගමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ජනවාරි 22 තෙක් කල් තබන ලදී.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබු දිගුකාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදුවීම තුළින් 2017 හා 2018 යන කාල වකවානුව තුළ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර තිබුණි.
