ධනුෂ්, නයන්තාරාට එරෙහිව නඩු පවරයි !: Naanum Rowdy Dhaan දර්ශන ‘අනවසරයෙන්’ භාවිතා කිරීම සම්බන්ධයෙන්
දකුණු ඉන්දිය සුපිරි නළු ධනුෂ්, ‘Lady Superstar’ මැයෙන් ප්‍රකට සුපිරි දකුණු ඉන්දිය නිළි නයන්තාරාට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර තිබෙනවා.
ඒ, නයන්තාරාගේ උපන්දිනය දා නෙට්ෆිලික්ස් වෙත මුදාහළ ”Nayanthara: Beyond the Fairy Tale” වාර්තා චිත්‍රපටයට භාවිත කළ දර්ශන කිහිපයක් සම්බන්ධයෙන්.
නෙට්ෆිලික්ස් විසින් නිෂ්පාදනය කළ නයන්තාරාගේ චරිතාපදානය ඇතුළත් එම වාර්තා චිත්‍රපටයට 2015 වසරේ තිරගත වූ ‘Naanum Rowdy Dhaan’ චිත්‍රපටයේ තත්ත්පර තුනක කොටසක් භාවිත කර තිබුණා.
ඊට කතෘභාග නොගෙවීම හේතුවෙන් එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන ධනුෂ් විසින් නීතිමය පියවර ගන්නා බවටයි මීට ඉහත දැඩි කතාබහක් ඇතිව තිබුණේ.
කෙසේ නමුත් ඊට ප්‍රතිචාර වශයෙන්, නයන්තාරා සිය සමාජ මාධ්‍ය ගිණුමකට ලිපියක් එක්කර තිබුණා.
ඒ, තමන් සහ තම සැමියා කෙරෙහි ධනුෂ් පෞද්ගලික කෝපයකින් සිටින බවත් සඳහන් කරමින්.
මෙම චෝදනා කිරීමෙන් පසුව, ධනුෂ් නයන්තාරාට එරෙහිව මදුරාසි මහාධිකරණයේ නඩු පවරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ, ඔහුගේ අවසරය ලබා නොගෙන ඔහුගේ නිෂ්පාදනය වූ Naanum Rowdy Dhaan හි දර්ශන, නෙට්ෆිලික්ස් වාර්තා චිත්‍රපටයේ භාවිතා කළ බවට චෝදනා කරමින්.
‘The Hindu’ පුවත්පත වාර්තා කරන්නේ ධනුෂ් මදුරාසි මහාධිකරණයේ මෙම නඩුව පවරා ඇත්තේ නයන්තාරාට සහ ඇගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් සිවන්ට ද එරෙහිව බවයි.
ඒ අනුව මෙම නඩුව ධනුෂ්ගේ ‘Wunderbar Films Private Limited’ විසින් නයන්තාරාට සහ ඇගේ සැමියාගේ ‘Rowdy Pictures Private Limited’ සමාගමට එරෙහිව ගොනු කළ එකක් ලෙසද සැලකේ.
ඉන්දීය ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, නෙට්ෆිලික්ස් විසින් ඉන්දියාවේ අන්තර්ගත ආයෝජන වාර්තා කරන සහ මුම්බායි හි පිහිටා ඇති ආයතනයක් වන ‘Los Gatos Production Services India LLP’ ට එරෙහිව නඩු පැවරීමට ධනුෂ්ගේ නීතිඥයින් මදුරාසි මහාධිකරණයේ අවසරය ද ලබාගෙන ඇති බවයි.
වාර්තා වන අන්දමට නයන්තාරාට මීළඟ නඩු වාරයේදී නොතීසිවලට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇති.