දියවඩන නිළමේ නිලංග දැලගේ ධූර කාලය අදින් අවසන්

දියවඩන නිළමේ නිලංග දැලගේ ධූර කාලය අදින් අවසන්

(මහනුවර – එස්.කේ. සමරනායක)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ ධුර කාලය ඊයෙන් අවසන් විය.
දියවඩන නිලමේවරයාගේ ධූර කාලය වසර 10ක් වන අතර දෑල මහතා ප්‍රථමයෙන් වර්ෂ 2005 දී එම තනතුර සඳහා පත් වූ අතර යළිත් 2015 දී ද දෙවැනි වරටත් දියවඩන නිලමේ ධුරය සඳහා තේරී පත්විය.
විහාර දේවාලගම් පනතට අනුව අද (08) සිට වැඩබලන දියවඩන නිලමේවරයකු පත්කර ගත යුතු අතර එදින සිට මාස 3ක් ඇතුළත නව දියවඩන නිලමේවරයකු තෝරා පත් කරගත යුතුය.
දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගනු ලබන නිලවරණයේදී ඡන්ද බලය හිමිවනුයේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ඇතුළු රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා 150 නමකට, ප්‍රාදේශීය ලේකම්වරු 176 දෙදෙනෙකුට, බස්නායක නිලමේවරු 31 දෙදෙනකුට හා ගිහි භාරකරුවන් 10 දෙදෙනකුට වශයෙනි. මෙම ප්‍රාදේශීය ලේකම්වරු අතරින් යම් ප්‍රාදේශීය ලේකම්වරයෙක් කාන්තාවක් නම් ඇයට ඡන්ද බලය හිමි වන්නේ නැත. මෙවර එසේ ඡන්ද බලය හිමි නොවන ප්‍රාදේශීය ලේකම්වරියන්ගේ සංඛ්‍යාවක100 කට ආසන්න බව කියැවේ.
වර්තමාන දියවඩන නිලමේ නිලංග දෑල මහතා වර්ෂ 2005 දී මෙම තනතුර සඳහා තේරී පත් වූයේ ඡන්ද 199 ක් ලබා ගනිමිනි. එවර ඔහු සමඟ තරග කළ මොහාන් පානබොක්කේ මහතා ඡන්ද 44ක් ද නෙරන්ජන් විජයරත්න මහතා ඡන්ද 42ක් ද සුදන්ත සේනානායක මහතා ඡන්ද 04ක් ද වශයෙන් ලබාගෙන තිබිණි.
වර්ෂ 2015 දී පැවැති නිලවරණයේදී නිලංග දෑල මහතා ඡන්ද 207ක් ද, ගයාන් හීන්කෙන්ද මහතා ඡන්ද 53ක් ද, නේරංජන් විජයරත්න මහතා ඡන්ද 16ක් ද වශයෙන් ලබාගත් අතර එහිදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ සුදන්ත සේනානායක මහතාගේ නම යෝජනා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.

Share This