දැව ගස් කැපීමට කූට ලේඛන සකස් කර දුන් ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

(මොනරාගල – ළහිරු ගුණතිලක)
බඩල්කුඹුර මොනරාගල පාර 11 කණුව අසල පදිංචි කාන්තාවකට අයත් ඉඩමක දැව හෙළීම සඳහා ඇයගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ අත්සන සහතික කර කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර 133 බී බඩල්කුඹුර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිවරයා 08 වැනිදා සවස මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
2017 වසරේ පැමිණිලිකාරිය ප්‍රදේශයෙන් බැහැරව සිටියදී දැව ජාවාරම්කරු විසින් දැව හෙළීම සඳහා අවසර ලබා ගැනීමට දුන් ලිපියේ යොදා ඇති ව්‍යාජ අත්සන ග්‍රාම නිලධාරීවරයා විවින් මෙලෙස සහතික කර තිබේ.
පසුව දැව ජාවාරම්කරු ඇය නොසිටි අවස්ථාවේ ඉඩමේ ගස් කපා අලෙවි කර ඇත.
අනතුරුව ඉඩමේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් වරයාටත් බඩල්කුඹුර පොලීසියටත් පැමිණිලි කර තිබුණත් දේශපාලන බලපෑම් මත පරීක්ෂණයක් සිදුවී නොතිබිණි.
සිද්ධිය පිළිබඳව වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අදාළ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 09 වැනිදා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
