දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට

2026 මාර්තු 28 දින දකුණු ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් යුධ තත්ත්වය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මරණයට පත්වූවන්  අතර 
Al-Manar TV නාලිකාවේ වාර්තාකරු අලි ශොයිබ්,
Al-Mayadeen TV නාලිකාවේ වාර්තාකාරියක වූ ෆාතිමා ෆ්ටූනි,
ඇයගේ සහෝදරයා සහ කැමරා ක්‍රියාකරු මොහම්මද් ෆ්ටූනි
ඇතුළත් බව සඳහන් වේ.

ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ඔවුන් යුධ ප්‍රදේශය වාර්තා කරමින් සිටි බවත්, එය වාහනයක් ඉලක්ක කරමින් සිදුකර ඇති බවත් වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, එම ප්‍රහාරයේ ඉලක්කය වූයේ අලි ශොයිබ් බවත්, ඔහු Hezbollah බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස සැලකෙන බවත්ය. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තහවුරු කරන සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවද සඳහන් වේ.

මෙම සිද්ධියට ලෙබනන් රජය දැඩි විරෝධය පළ කරමින්, මෙය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දී ඇත.

එමෙන්ම මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ, මැද පෙරදිග ගැටුම් තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර මාධ්‍යවේදීන්ට ඇති අනතුරු ඉහළ යමින් පවතින බවයි.

Share This