තායිලන්ත හිමියන්ගේ පසුම්බියට විද්ද චීනා මාට්ටු

(කටුනායක – ටී.කේ.ජී. කපිල)
ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි තායිලන්ත ජාතික භික්ෂුන් වහන්සේ නමකගේ අත්බෑගයෙහි තිබූ රුපියල් තිස්ලක්ෂ අසූදහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 10,000ක මුදලක් ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයක මහත් පරිශ්‍රමයක් දරා කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ සහ එහි සංචාරක පොලිසියේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත්තේය.
මෙම 78 හැවිරිදි මෙම හිමියන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ වගකිවයුතු නිලයක් හොඹවන අයෙකි.
උන් වහන්සේ 06 දින දහවල් 11.07 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පැමිණ තිබුණි.
ඉන්පසුව උන් වහන්සේ සීගිරිය බලා ගමන් කර ඇති අතර එහිදී තම අත් බෑගයෙහි තිබූ ඇමෙරිකානු ඩොලර් 10,000ක මුදල නොමැති බව වැටහී ඒ පිළිබඳ කොළඹ තායිලන්ත තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ බව සැ වූ තානාපති කාර්යාලයේ උසස් නිලධාරියකු මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ සංචාරයක පොලිසිය වෙත පැමිණිළි කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කර මෙම භික්ෂුන් වහන්සේ සමීපයෙහි ගැවසෙමින් සිටි සැක කටයුතු චීන ජාතිකයකු හඳුනාගෙන ඔහු ගමන් කළ වාහන සොයා විමර්ශන දියත් කර තිබේ.
එහිදී මෙම චීන ජාතිකයා කිඹුලපිටිය ප්‍රදේශයේ චීන ජාතික කාන්තාවක විසින් පවත්වාගෙන යනු ලබන ලැගුහළක් වෙත ගොස් ඇති අතර එහි මද වේලාවක් ගත කර කැසිනෝ ක්‍රීඩාව සඳහා වෙනත් වාහනයකින් කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයට ගොස් තිබේ.
එම තොරතුරු මත හඹා ගිය පොලිස් නිලධාරීන් එම වාහනයේ රියැදුරු හඳුනාගෙන ඔහුගේ සහායෙන් අදාල කැසිනෝ ශාලාව වෙත ගොස් තිබේ.
පසුව එහි ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කර එහි ඇතුළු වී සිටින චීන ජාතිකයා හඳුනාගෙන ඇති අතර ඔහු ඒ වනවිට රාත්‍රී කාලයේ කැසිනෝ ක්‍රීඩාව පටන් ගන්නා තෙක් එම ගොඩනැගිල්ලේ 07 වැනි මහළේ චීන ජාතික කාන්තාවක සතු නිවසෙහි විවේක ගනිමින් සිට තිබේ.
මේ බැව් නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් එම නිවස වටලා එහි රැඳී සිටි 43 හැවිරිදි යී ටාඕ නමැති චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයෙහිතිබූ ඇමෙරිකානු ඩොලර් 10,000ක මුදල ද අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ගුවන් තොටුපොළ සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත, පොලිස් පරීක්ෂක චන්දන, පොලිස් කොස්තාපල්වරුන් වන 102313 වික්‍රමසිංහ සහ 71058 මංජුල යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.
මෙම චීන ජාතිකයා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
