තායිලන්තයේ බැංකොක් සිට ලංකාවට නීති විරෝධීව සතුන් ගෙනැවිත් ගුවන්තොටුපලේදී අල්ලයි

කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරන ලද දැනුම් දීමකට අනුව TG307 දරණ ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් සිට ලංකාවට නීති විරෝධී අයුරින් සජීවී සතුන් 26 දෙනෙකු සහ කුරුල්ලන් 16 දෙනෙකු ගමන් මලු තුල සගවාගෙන පැමිණ ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කල ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 2026.03.25 වන දින අලුයම ගුවන් තොටුපලට අනුයුක්ත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සජීවී සතුන් සහ කුරුල්ලන් අතර ඉත්තෑවන්, ලේනුන්, ගිනි පිග් වර්ගයේ මීයන්, හම්බාවන් සහ පරෙවි විශේෂ දක්නට ලැබූ අතර මේ සම්බන්ධව රේගු විමර්ෂණය ශ්‍රී ලංකා රේගුවේ ජෛවවිවිධත්ත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණය ඒකකයේ මුලිකත්වයෙන් සිදු කිරීමෙන් අනතුරුව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා අදාළ ගුවන් මගියාට දඩ නියම කර සතුන් සහ කුරුල්ලන් නැවත තායිලන්තයට හරවා යැවීමට කටයුතු කරන ලදී.
මේ අයුරින්ම 2026.03.19 වන දින UL 403 දරණ ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් සිට ලංකාවට නීති විරෝධී අයුරින් සජීවී සතුන් 23 දෙනෙකු සහ මල් පැල 11 ක් ගමන් මලු තුල සගවාගෙන පැමිණ ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කල ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරන ලද දැනුම් දීමකට අනුව අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපලට අනුයුක්ත රේගු නිලධාරීන් කටයුතු කරන ලදී.
එම සජීවී සතුන් අතර ඉත්තෑවන්, ලේනුන් සහ හැම්ස්ටර් වර්ගයේ මීයන් දක්නට ලැබූ අතර මේ සම්බන්ධව රේගු විමර්ෂණය ශ්‍රී ලංකා රේගුවේ ජෛවවිවිධත්ත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණය ඒකකයේ මුලිකත්වයෙන් සිදු කිරීමෙන් අනතුරුව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා අදාළ ගුවන් මගියාට දඩ නියම කර සතුන් සහ කුරුල්ලන් නැවත තායිලන්තයට හරවා යැවීමට කටයුතු කරන ලදී.
මෙම අවස්ථා දෙකේදීම සජීවී සතුන් සහ කුරුල්ලන් රේගු ආඥා පනත, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත, 1992 අංක 59 දරණ සත්ත්ව රෝග පනත සහ 1996 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත උල්ලංගනය කරමින් මෙරටට රැගෙන එන ලද අතර රේගු ආඥා පනත හා 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත උල්ලංගනය කරමින් මල් පැල මෙරටට රැගෙන එන ලදී.
මෙවැනි නීති විරෝධී අනයනයන් මගින් ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයට සහ පරිසරයට දැඩි බලපෑමක් සිදු වන අතර මේ සම්බන්ධව නිතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රේගුව ඉදිරියටත් කටයුතු කරන අතර මෙවැනි ක්‍රියා සම්බන්ධව යම් තොරතුරක් වේ නම් ශ්‍රී ලංකා රේගුව දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.
