තංගල්ලේ කුඩු ආවේ ඉරාන-පාකිස්තාන මුහුදු මාර්ගයෙන්

තංගල්ලේ කුඩු ආවේ ඉරාන-පාකිස්තාන මුහුදු මාර්ගයෙන්

-සමන් ගමගේ-

තංගල්ල ප්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ගොඩබිම් තීරයේදී මෙතෙක් සොයාගත් විශාලම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන රුපියල් මිලියන 9888ක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනැවිත් ඇත්තේ ඉරාන පාකිස්තාන මුහුදු සීමාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඉරාන සහ පාකිස්තාන ජාතිකයන් මෙහෙයවන එම මුහුදු සීමාවේ යාත්‍රා කරනු ලබන නෞකාවකින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඇනවුම් අනුව ශ්‍රී ලංකාවේ බහුදින යාත්‍රාවලට මත්ද්‍රව්‍ය ලබාදීම කාලයක සිටම සිදුවන්නකි.
මීට වසර කිහිපයකට ඉහතදී ඉරාන සහ පාකිස්තාන ජාතිකයන් පිරිසක් සමඟ අත්අඩංගුවට ගැනීමටද නාවික හමුදාවේ ද සහායෙන් ජාත්‍යන්තර මුහුදේ සිදුකළ මෙහෙයුමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු සමත් වූහ.
මුලින් ජාත්‍යන්තර මුහුදේදී බහුදින යාත්‍රාවක් විසින් ලබාගත් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු සීමාවට රැගෙන විත් ඇත. පසුව ඉකුත් 21 වැනිදා කුඩා ධීවර යාත්‍රා දෙකක් මගින් දෙවුන්දර කුඩාවැල්ල මාවැල්ල වෙරළ තීරයට රැගෙනවිත් ඇති අතර එතැන් සිට ලොරි රථ මගින් එම මත්ද්‍රව්‍ය තොගය තංගල්ල ප්‍රදේශයට රැගෙන විත් තිබෙන බවද පොලිසිය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට දකුණේ දේශපාලන සබඳතාවක් ඇති බවට විවිධ වාර්තා පළ වුවද මේ දක්වා කළ විමර්ශනවලදී කිසිදු දේශපාලනඥයකුගේ සබඳතාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බව ඒ සම්බන්ධනේ කළ විමසීමකදී දකුණේ ඉහළ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් ලොරි රථයක තිබූ අයිස් මත්ද්‍රව්‍යවලට මුහුදු ජලය කලවම් වී තිබී ඇති අතර ඒ අනුව මේවා ගොඩබිමට රැගෙන ඒමේදී එක් කුඩා ධීවර යාත්‍රාවක් මුහුද රළුවීමෙන් පෙරලී යන්නට ඇති බවද පොලිසිය විශ්වාස කරයි.
කෙසේ වෙතත් පෙරළුණු ධීවර යාත්‍රාවේ තිබුණු මත්ද්‍රව්‍ය තොගයද ජාවාරම්කරුවන් විසින් පසුව කෙසේ හෝ යළි ගොඩබිමට ගෙනැවිත් ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් වන උණාකූරුවේ ශාන්ත සහ විදාන පතිරණගේ නුවන් දර්ශන හෙවත් කළු සාගර විසින් මෙහෙයවා ඇති අතර කළු සාගර යනු මේ වන විටත් අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ අපරාධකරුවකු බවද පොලිසිය පෙන්වා දෙයි.
අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී ඉකුත් 1998 වසරේ පෙබරවාරි 18 වැනිදා එකම පවුලේ මව පියා සහ දරුවන් ඇතුළු පුද්ගලයන් හය දෙනකු කපා කොටා වෙඩි තබා බෝම්බ ගසා අමානුෂික ලෙස මරා දැමීමේ සිද්ධියක චූදිතයකු ලෙස කළු සාගරට එසේ මරණ දඬුවම නියම වී තිබේ.
කළු සාගර ඇතුළු සැකකරුවන් එකොළොස් දෙනකු එම ම්ලේච්ඡ ඝාතනයට වරදකරුවන් කළ තංගල්ල මහාධිකරණය ඉකුත් 2018 වසරේ ඔක්තෝබර් 11 වැනිදා ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කර ඇත.
උණාකූරුවේ ශාන්ත යනු දැනට දකුණේ පාතාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වන අතර ඔහුද කාලයක සිට විදේශගතව සැඟවී සිටින්නෙකි. මේ වන විට විදේශගතව සැඟවී සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් ඉරාන සහ පාකිස්තාන ජාතිකයන් වෙතින් මත්ද්‍රව්‍ය තොග ලබා ගැනීමේදී එම ඇනවුම් භාරදෙනු ලබන්නේ උණාකූරුවේ ශාන්ත හරහා බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
උණාකූරුවේ ශාන්ත සහ කළු සාගර යනු මේ වන විටත් ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලසිය විසින් රතු වරෙන්තු නකුත් කර සිටින දරුණු පාතාල අපරාධකරුවන් දෙදෙනකුද වේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පති කිත්සිරි ජයලත් සහ නියෝජ්‍ය පොලිස්පති චාමික ප්‍රේමසිරි යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යතේ තංගල්ල පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This