තංගල්ලෙන් කෝටි දෙසීයක අයිස් සහ හෙරොයින් මතු වෙයි

තංගල්ලෙන් කෝටි දෙසීයක අයිස් සහ හෙරොයින් මතු වෙයි

(සමන් ගමගේ/ හබරාදුව – අනුර ප්‍රියන්ත)
තංගල්ල ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී ලොරි තුනක සඟවා තිබූ රුපියල් කෝටි දෙසීයක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් දෙසීය දහයක් සහ ගිනිඅවි හයක් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය සඳහන් කරයි.
මේ අතරින් ඩිමෝ බට්ටා ලොරියක් සහ තවත් ලොරියක් සොයාගෙන ඇත්තේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු අභිරහස් ලෙස මියගොස් සිටියදී හමුවූ නිවසේ ගෙවත්තේ නවතා තිබියදීය.
තංගල්ල පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේ එම ලොරි දෙකෙන් ඩිමෝ බට්ටා ලොරියේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහයක් සොයා ගැනීමට හැකිවූ බවයි. එහි තිබූ අනෙක් ලොරියේද අයිස් පැකට් කිහිපයක් තිබී ඇත.
අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් දෙසීයක තොගයක් සමඟ ගිනිඅවි හය සොයාගෙන ඇත්තේ තංගල්ල කතරගම මාර්ගයේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක කොමඩු පටවා තිබූ ලොරි රථයක රහස් කුටියක සඟවා තිබියදීය.
සොයා ගත් ගිනිඅවි අතර ටී. 56 අවියක් සහ රිවෝල්වර වර්ගයේ ගිනිඅවි පහක් තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති චාමික ප්‍රේමසිරි මහතාගේ අධීක්‍ෂණය යටතේ තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This