ඩුබායි හි සැඟව සිටි තවත් පාතාලයෙක් ගුවන්තොටුපලේදීම අල්ලා ගනී

ඩුබායි හි සැඟව සිටි තවත් පාතාලයෙක් ගුවන්තොටුපලේදීම අල්ලා ගනී

(කටුනායක ටී.කේ.ජී.කපිල)
ඩුබායි හි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන ශ්‍රීදරන් නෙරංජන් නොහොත් ටින්කර් නමැත්තා අද (01දා) ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
36 හැවිරිදි ටින්කර් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් කොච්චිකඩේ ශිරාන් නමැත්තාගේ ප්‍රධානතම අනුගාමිකයෙකි.
ටින්කර් 01 දින අලුයම 12.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත සුසාන භූමිය අසළ දී ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෑලියගොඩ පොලිස් වසමේ 2025.08.19 දින සිදුකළ වෙඩි තැබීමක් සඳහා යොදා ගත් ගිනි අවි සැපයීම සිදුකර එදිනම ඩුබායි බලා මෙරටින් පළා ගොස් තිබූ අතර මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගත් ටින්කර් 01 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් වෙත භාර දී ඇති අතර මොහු අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This