ටිබෙට් ජාතික හිමිනම පාගමනින් අනුරාධපුරයට

ටිබෙට් ජාතික හිමිනම පාගමනින් අනුරාධපුරයට

(තිරප්පනේ සමන් පෙරේරා)
නේපාලයේ වජ්‍රයානික ටිබෙට් ජාතික පූජ්‍ය කෙට් බහදූර් (සූර්යරතන) ස්වාමීන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු කැළණි රජමහා විහාරස්ථානයේ සිට අනුරාධපුර දක්වා ආරම්භ කළ පා ගමන 20දා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු අවසන් කිරීමට නියමිතව තිබේ.
හිමාලයේ ශාක්‍ය පා නිකායට අයත් උන් වහන්සේ ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව හා ශ්‍රී ලංකාව යන රටවල මීට පෙර සංචාරවල නිරත වී ඇති අතර “ලාමාමාමා” යන නමින් උන්වහන්සේ ලොවපුරා ජනප්‍රිය වී ඇත. විශේෂයෙන් කඳු තරණය කිරීම තුළින් හා පා ගමනින් ගොස් වන්දනාමාන කිරීම තුළින් අධ්‍යාත්මික ලෙස සුවයක් ලැබීමට හැකි බව මෙම සංචාරවල අරමුණ වී තිබේ.
ඒ අනුව ඉකුත් 09 වැනිදා කැලණි රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කළ පා ගමන මහනුවර හරහා වැඩම කොට දළදා මාළිගාව, රංගිරි දඹුළු රජමහා විහාරය වැඳපුදා ගැනීමෙන් 19දා ඓතිහාසික අනුරාධපුරයට වැඩම කෙරිණි. ඓතිහාසික රුවන්මැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු පූජනීය ස්ථාන වැඳපුදා ගැනීමෙන් පසු උන් වහන්සේ 20දා ජය ශ්‍රී මහා බෝ සමිඳු වන්දනාමාන කිරිමට නියමිතය.
මෙරටට සිව් වතාවක් වැඩම කර ඇති උන්වහන්සේ 2015 වර්ෂයේ දී පා ගමනින්ම ගොස් සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට සමත් ඇත. පසුව එම ශ්‍රී ලංකා සංචාරයේ අත්දැකීම් ඇසුරින් Land Of Arrahath නමින් ග්‍රන්ථයක් ද රචනා කර තිබේ.

Share This