ටිකට් නොදුන් කොන්දොස්තරවරු 309කට හා මගීන් 8කට දඩ

ටිකට් නොදුන් කොන්දොස්තරවරු 309කට හා මගීන් 8කට දඩ

(කොට්ටාව හෂාන් පුෂ්පික)
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ භාවිතා කරන මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය’නිවැරදිව සිදුවනවාදැයි ඉකුත් මාසයක කාලය පුරා සිදුකළ පරීක්ෂාවේදී බස් රථ තුන් දහස් අටසිය අසූ හතරක් පරීක්ෂා කොට ඉන් අටසිය පනස් හත් දෙනෙකුට දඩ පත්‍ර නිකුත් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
ඉකුත් 2025.10.01 දා සිට 2025.10.31 දක්වා කාලය තුළදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බැස්ටියෙන් මාවත, බොරැල්ල, හෝමාගම, කළුතර, ජාඇළ, මිරිස්වත්ත හා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත මාර්ග පරීක්ෂක නිලධාරීන්ට 1993 අංක 3 දරන බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා සංශෝධන ප්‍රඥප්තියේ උප වගන්තිවලින් පැවරී ඇති බලතල අනුව කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම වැටලීම සිදු කර තිබුණි.
එහිදී බස් රථ 3884 පරීක්ෂා කර තිබූ අතර’ විවිධ වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා 854 නිකුත් කර තිබේ. ඒ අතර ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ කොන්දොස්තරවරුන් 309 දෙනෙකුට හා ප්‍රවේශපත්‍ර සන්තකයේ තබාගෙන නොසිටි මගීන් 08 දෙනෙකුට දඩ පත්‍රිකා නිකුත් කර තිබේ.
සෙසු දඩ පත්‍රිකා 537 නිකුත් කර තිබුණේ එම බස් රථවල කොන්දොස්තරවරයාට සහ රියදුරාටය. ඒ ජංගම දුරකථන භාවිතා කරමින් රිය පැදවීම, කොන්දොස්තරවරයකු නොමැතිව බස් රථය ධාවනය කිරීම, බලපත්‍ර නොමැතිව මගීන් ධාවනය කිරීම, වෙනත් බස් රථයකට අදාළ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, අසංවරව හැසිරීම, බුලත්විට කමින් රැකියාවේ යෙදීම, ව්‍යාජ බලපත්‍ර සන්තකයේ තබා ගැනීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධයෙනි.
එම රියැදුරන්ගේ හා’කොන්දොස්තරවරුන්ගේ සේවය දින තුනකට අත්හිටුවා දඩ මුදලක් අයකොට එක් දින සංස්කරණ පුහුණුවකට යොමු කර තිබේ.
එසේම ප්‍රවේශ පත්‍රය සන්තකයේ තබා නොගෙන ගමන් කර තිබූ මගීන් 08 දෙනාගෙන් රුපියල් සියයක අධි භාරයක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කර තිබේ.
මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක අතර බස් රථ සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් හෝ යෝජනාවක් වෙතොත් 0112 – 860860 අංකයට අමතා හෝ 0702 – 860860 වට්ස්ඇප් අංකයට කෙටි පණිවුඩයක් ලබා දී හෝ තොරතුරු ලබා දෙන ලෙස බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතාගේ හා පරිපාලන නිලධාරී (ධාවන) රත්නායක මහතාගේ උපදෙස් මත ධාවන කළමනාකරු ජීවීන්ද්‍ර කීර්තිරත්න මහතාගේ හා පරිපාලන නිලධාරි (ධාවන) තේජා ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් මාර්ග පරීක්ෂක නිලධාරීන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

Share This