ට්‍රම්ප්ගෙන් ඉරානයට අවසාන අනතුරු ඇඟවීමක්: හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් බලාගාරවලට පහර
ඉරානය පැය 48ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම නැවත විවෘත නොකළහොත්, එරට බලාගාරවලට පහර දෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා අනතුරු ඇඟවීය.
යුද්ධය “අවසන් කිරීම” පිළිබඳව ඔහු කළ ප්‍රකාශයෙන් දිනකට පසුව මෙම උග්‍ර තත්ත්වය ඇතිව තිබේ.
“ඉරානය පැය 48ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිදු තර්ජනයකින් තොරව සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත්, ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ බලාගාරවලට පහර දී විනාශ කරනු ඇත. එය ආරම්භ වන්නේ විශාලතම බලාගාරයෙන්!” යනුවෙන් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේය.
මෙම අනතුරු ඇඟවීමත් සමඟ ගැටුම නව භයානක අදියරකට පිවිස තිබේ. ඉරාන හමුදා පළමු වරට දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල නිලධාරීහු පවසති. ඉරාන ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ න්‍යෂ්ටික ස්ථානයක් ආසන්නයේ පුද්ගලයින් දුසිම් ගණනක් තුවාල ලැබූහ.
ඊශ්‍රායල හමුදා ප්‍රධානී අයල් සමීර් පවසන්නේ, ඉරානය ඉන්දියන් සාගරයේ පිහිටි ඇමරිකානු-බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් වන ඩියාගෝ ගාර්ෂියා වෙත කිලෝමීටර් 4,000ක් දුරට පියාසර කළ හැකි බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවයි. පෙබරවාරි 28 වනදා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීම ආරම්භ කළ පසු මෙවැනි දිගු දුර ප්‍රහාරයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද ඔහු පැවසීය.
“මෙම මිසයිල ඊශ්‍රායලයට ඉලක්ක කර නොමැත. ඒවායේ පරාසය යුරෝපීය නගර වන බර්ලින්, පැරිස් සහ රෝමය දක්වා විහිදේ. එම නගර සියල්ල සෘජු තර්ජනයට ලක්විය හැක,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග අනුව, ඉරාන මිසයිල අඩවිවලට පහර දීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිතා කිරීමට ඇමරිකාවට අවසර ලබාදීම සම්බන්ධයෙන් රජය විසින් නිල තීරණයක් ගන්නාට පෙර මෙම ප්‍රහාර සිදුව තිබේ.
ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ප්‍රහාර ආරම්භ කළ දා සිට ඉරානයේ පුද්ගලයින් 2,000කට අධික පිරිසක් මියගොස් ඇත. ඊශ්‍රායලයේද, යුද්ධය ආරම්භ වූ දා සිට ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයින් 15ක් මියගොස් තිබේ.
සෙනසුරාදා රාත්‍රියේ ඉරාන මිසයිල ඊශ්‍රායලයේ දකුණු නගර වන ඩිමෝනා සහ අරාඩ් වෙත පහර දී ඇති අතර, ළමුන් ඇතුළු දුසිම් ගණනක් තුවාල ලැබූහ. ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ ඔවුන් “හමුදා ස්ථාපන” සහ ආරක්ෂක මධ්‍යස්ථාන ඉලක්ක කරගත් බවයි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් පවසන්නේ, ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වුවද ප්‍රහාර සියල්ල වැළැක්වීමට අසමත් වූ බවයි. “අපි මේ සිදුවීම විමර්ශනය කර, එයින් පාඩම් ඉගෙන ගන්නවා,” යනුවෙන් ඔහු පැවසීය.
ඊශ්‍රායලයේ රහසිගත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය ඩිමෝනා නගරයෙන් කිලෝමීටර් 13ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇත. මෙම ප්‍රදේශය නෙවාටිම් ගුවන් හමුදා කඳවුර ඇතුළු වැදගත් හමුදා ස්ථාන කිහිපයක් ආසන්නයේ පිහිටා ඇත.
අරාඩ් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ,
“අපගේ අනාගතය වෙනුවෙන් වන සටනේ ඉතා දුෂ්කර රාත්‍රියක් මෙයයි. අපි සියලු පෙරමුණුවල සතුරන්ට එරෙහිව ක්‍රියාත්මක වීම දිගටම කරගෙන යනවා,” යනුවෙනි.
