ජෙරුසලමේ පැරණි නගරයට ඉරාන මිසයිල සුන්බුන් කඩා වැටේ

ඉරානයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සහ ඊශ්‍රායල ආරක්ෂක පද්ධතියෙන් එල්ල කළ ප්රතිප්රහාරවලින් පසු සුන්බුන් සහ ෂ්‍රැප්නල් කැබලි ජෙරුසලමේ පැරණි නගරයට කඩා වැටී තිබේ.
මීටර් භාගයක් පමණ විශාල එක් කැබැල්ලක් ලොව පුරා කිතුනුවන්ගේ ශුද්ධතම ස්ථානයක් වන ශුද්ධ වූ සොහොන් ගෙය පිහිටි දේවස්ථානය ආසන්නයේ වැටී ඇත. ඉස්ලාම් ආගමේ පරිශුද්ධ ස්ථාන අතුරින් එකක් වන අල් අක්සා පල්ලිය ද එම ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටා ඇත.
නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය ආසන්නයට ද විශාල ෂ්‍රැප්නල් කැබලි කිහිපයක් වැටී ඇති බව වාර්තා වේ. ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලය අසල ප්‍රධාන සාප්පු සවාරි වීදියක දුම් දමන ලෝහ කැබලි මාර්ගයේ දක්නට ලැබුණු බව එහි සිටි බීබීසී ප්රවෘත්ති කණ්ඩායමක් සඳහන් කළේය.
ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලමේ පදිංචිකරුවන්ගෙන් බහුතරයක් පලස්තීනුවන් වන අතර, ඔවුන්ගෙන් අති බහුතරයක් ඉරානයට එරෙහි ඊශ්‍රායල් යුද්ධයට සහාය නොදක්වයි.
මිසයිල සුන්බුන් ඊශ්‍රායල් පාර්ලිමේන්තුව වන නෙසෙට් ගොඩනැගිල්ල ආසන්නයට ද කඩා වැටී ඇත. මෙම ප්‍රහාරයෙන් බරපතල ලෙස කිසිවෙකුට තුවාල සිදුවූ බවට මෙතෙක් වාර්තා නොමැත. ප්‍රාදේශීය මහ නගර සභාව පවසන්නේ පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි.
