ජාතික සමගියට හානිදායක අසත්‍ය තොරතුරු වාර්තා කරන්න එපා
දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීයි.
කෙසේ වෙතත් ජාතික සමගියට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා.
මෙරට දශක ගණනාවක යුද්ධයකට මුහුණ දුන් බව ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර සිටි බව එම මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බවත් ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බවත් ඔහු අවධාරණය කර සිටියා.
වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් වනවා.
ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බැවින් ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කරගෙන ඇති බවයි අනුර කුමාර දිසානායක මහතා අවාධරණය කළේ.
ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස ජනාධිපතිවරයා සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළ බව සඳහන්.
මේ අතර රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳ රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළා.
මේ වන විට ප්‍රධාන ගැටලුවක්ව පවතින දුප්පත්කම තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් ද මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළ බව සඳහන්.