ජනාධිපති අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය හමුවෙයි

ශ්රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සමඟ හමුවකට අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.
මැදපෙරදිග කලාපයේ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්රී ලංකාවේ අපේක්ෂාව බවත්, එම රටවල සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් තනි රටක් ලෙස සහ සාමුහිකවත්, ජාත්යන්තර නීතියට අනුකූලව ශ්රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවත් මෙහිදී සඳහන් කළෙමි.
එමෙන්ම, යුදමය තත්ත්වයත් සමග මැදපෙරදිග කලාපයේ රටවල් මුහුණ දී ඇති අභියෝග සහ විශේෂයෙන් එම රටවල සාමයට, ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර යුද්ධයට සම්බන්ධ වී නොමැති මැදපෙරදිග කලාපීය රටවලට එල්ල වන ප්රහාර කිසිසේත් අනුමත නොකරන බව මෙහිදී ප්රකාශ කරමින් ඒ පිළිබඳව කනගාටුව පළ කළෙමි.
මැදපෙරදිග කලාපීය රටවල් ශ්රී ලංකාවට ලබා දෙන සහාය වෙනුවෙන් ස්තූතිය පළ කරමින්, විශේෂයෙන් බලශක්ති අවශ්යතාව සපුරා ගැනීමට මෙන්ම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තයට අදාළව ලබා දෙන දායකත්වයද ඇගයීමට ලක් කළෙමි.
එසේම, පවතින යුදමය තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ රටවල සේවය කරන ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීම පිළිබඳවද ස්තූතිය පළ කළෙමි.
Share This