ඡන්ද මගඩියක් විරුද්ධව දුන් ඡන්ද පක්ෂ ගොඩට දාලා මන්ත්‍රීවරු පොලිසි යති

ඡන්ද මගඩියක්  විරුද්ධව දුන් ඡන්ද පක්ෂ ගොඩට දාලා  මන්ත්‍රීවරු පොලිසි යති

(කළුතර එස්.එස්.තන්ත්‍රිආරච්චි)
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ අයවැය විවාදය ඉකුත් 14 වැනිදා පැවැත්වුණු අතර එහි ඡන්ද විමසීමේදී තමා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද ලේකම්වරිය තමා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව සටහන් කරගෙන ඇතැයි කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක ආරච්චිගේ දොන් ක්‍රිශාන්ත චාමින්ද රණවක අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. එහෙත් ලේකම්වරිය සටහන් කරගෙන ඇත්තේ පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ලෙසටයි. මේ ගැන විමසූ විට ඇය ප්‍රකාශ කළේ ඇයට “පක්ෂයි ” කියනවා සේ ඇසුණු බවයි. මෙය නිවැරදි කරන ලෙස ඉල්ලූ විට ඈ ඊට එකඟ වුණා. මෙය අවසන් ප්‍රතිඵලයට බලපෑමක් වන බැවින් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලනවා” යැයි ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ.
මීට සාක්ෂි වශයෙන් සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුලප්පුතන්ත්‍රිගේ දොන් වින්දික කරුණාසේන මහතාද පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබුණි.
මෙම රැස්වීමට සමගි ජනබලවේගයේ 06 ක්, ජාතික ජනබලවේගයේ 06ක්, ස්වාධීන 03 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 02ක්, ශ්‍රීලනිප 01ක්, එජාප 01ක් හා සර්වජන බලය 01 ක් වශයෙන් මන්ත්‍රීවරුන් සහභාගිවී සිටියා. මෙහිදී විපක්ෂව දුන් ඡන්ද පක්ෂව දුන් ඡන්ද ගොඩට දමා තිබුණා. මෙහිදී ඡන්දය නැවත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ස්වාධීන මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියත් ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ.” යැයි ඔහු කර තිබූ ප්‍රකාශයේ සඳහන් වේ.
අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.වී.ඩී.එන්.පී. විජේගුණරත්න මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Share This