චීන ජාතිකයා පන්නන්න ගිය ලක්ෂ 14ක කොතලහිඹුටු රේගුවේදී අල්ලයි

කොතලහිඹුටු කිලෝග්‍රෑම් 48.6ක් සිය ගමන් මලු තුල සගවාගෙන නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සාහ කල චීන ජාතික ගුවන් මගියකු අත්අඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ පිටත් වීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත රේගු නිලධාරීන් සමත්ව තිබේ.
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ තුල නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් අතරතුර 2026.04.02 දින සිදු කළ වැටලීමකදී චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU 714 අංක දරණ ගුවන් යානයෙන් කොළඹ සිට චීනයේ කුන්මින් වෙත ගමන් කිරීමට පැමිණි චීන ජාතික ගුවන් මගියකු සතුව තිබී මෙම කොතලහිඹුටු තොගය හමුව ඇති අතර පිටත්වීමේ පර්යන්තයේ රාජකාරියේ නියුතුව සිටි රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමෙදී එම මගියාගේ ගමන් මලු තුල තිබී හමුවූ මෙම කොතලහිඹුටු තොගය තේ අඩංගු පැකට් ලෙස දක්වා ඇති ඇසුරුම් වලින් ආවරණය කර සඟවා තිබී ඇත.
කොතලහිඹුටු යනු, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ විධිවිධාන අනුව විශේෂ ආරක්ෂිත ශාකයක් වන අතර ඒවා මෙලෙස අපනයනය කිරීම නීති විරෝධී වන අතර එය රේගු ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමකි.
ගුවන් තොටුපළ රේගු නිලධාරීන් හා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර රුපියල් 145000 පමණ වටිනා මෙම කොතලහිඹුටු තොගය රාජසන්තක කර අදාළ මගියාට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් පනවා ඇත.
පසුගිය කාලය පුරාවටම දේශිය වශයෙන් ආවේණික හා වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති මෙවැනි ශාක නීති විරෝධීව මෙරටින් රැගෙන යාමේ උත්සාහයන් විශාල ප්‍රමාණයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.
