ගෝලීය අස්ථාවරත්වය හමුවේ ජනජීවිතය ආරක්ෂා කිරීමට පිහිටුවූ කමිටු හතරට කැබිනට් අනුමැතිය

පවතින ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය ආර්ථිකයට සහ ජනතාවගේ දෛනික ජීවිතයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළකට රජය අත්වැල් බැඳගෙන තිබේ. ඒ සඳහා විශේෂිත කරුණු සලකා බැලීමට විෂය ක්ෂේත්‍රයන් හතරක් ආවරණය වන පරිදි විශේෂඥ කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙම කමිටු හතරේ අරමුණු, සභාපතිත්වය සහ ප්‍රධාන කාර්යභාරය පිළිබඳ විස්තර පහත දැක්වේ.

කමිටුව සභාපතිත්වය ප්‍රධාන කාර්යභාරය
01. බලශක්ති කමිටුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සැපයුම් අර්බුදයකින් තොරව පවත්වාගෙන යාම සඳහා හදිසි මිලදී ගැනීම් සිදු කිරීම සහ නව සැපයුම් මූලාශ්‍ර හා සැපයුම්කරුවන් හඳුනා ගැනීම.
02. රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වා ගෙනයාමේ කමිටුව අග්‍රාමාත්‍යවරිය ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ අඛණ්ඩතාව රැකගනිමින් මහජනතාවට අවශ්‍ය සේවා සැපයීම සඳහා කඩිනම් තීරණ ගැනීම.
03. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් අධීක්ෂණ කමිටුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සැපයුම් දාම කඩාකප්පල් නොවී පවත්වා ගනිමින්, වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති නොවී සාධාරණ මිලකට ජනතාවට ලැබෙන බවට සහතික වීම.
04. සමාජ සුබසාධන කමිටුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා ආර්ථික අර්බුදය නිසා විවිධ සමාජ තර වල ජනතාව මුහුණ දෙන ක්ෂණික ගැටලු හඳුනාගෙන, අදාළ ආයතන සමග සම්බන්ධීකරණයෙන් ඉක්මන් විසඳුම් ලබා දීම.

මෙම කමිටු පද්ධතිය හරහා ගෝලීය වශයෙන් ඇතිවන ආර්ථික අර්බුදවලදී රට තුළ බලශක්තිය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, රාජ්‍ය සේවා අක්‍රිය වීම සහ ජනතාවගේ සුබසාධනයට සිදුවන බලපෑම් වැනි ප්‍රධාන අභියෝග කඩිනමින් හමුවීමට රජය බලාපොරොත්තු වේ.

Share This