ගිණුම් හා රක්ෂණ ඔප්පු තහනමට එරෙහි කෙහෙළියගේ රීට් පෙත්සම් විසි කරයි

-අකිලා නදීශානි බණ්ඩාර-
තමන් ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ගේ නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු තැන්පතු හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරමින් කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිය, ඇගේ දියණියක හා එක් දියණියකගේ සැමියා විසින් ගොනු කර තිබූ රීට් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (3දා) ප්‍රතික්ෂේප කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂ (නීති), අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය ප්රමුඛ පිරිස් කළ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ ජනක් ද සිල්වා, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් බී. අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එකී පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමට තරම් ප්‍රමාණවත් නෛතික කරුණු තව අධිකරණය හමුවේදී ඉදිරිපත් කිරීමට පෙත්සම්කරවැන් අපොහොසත් වී ඇති බවට නිගමනය කොට වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී සාපා වැසිහේන, අගේ දියනියකගේ සැමියා වන ඉසුරු සුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය හා දියණියක වන චන්දුල රමාලි රඹුක්වැල්ල ගොනුකර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහාධිකරණ විනිසුරවැරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, එහි අධ්යක්ෂ ජනරාල්වරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අංක දෙක විමර්ශන ඒකකයේ සහකාර අධ්යක්ෂ ආර්. සුමේන්ද්රා මහතා, කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්රමුඛ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.
එකී පෙත්සම්කරුවන් තිදෙනා නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය රුපියල් මිලියන 44ක අධික වටිනාකමින් යුත් ස්ථාවර බැංකු ගිණුම් දෙකක් හා ජීවිත රක්ෂණ ඔප්පුවක් දින හතක කාලයකට තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව 2024.06.27 වැනිදා තමනම් කොට තිබිණි. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 5 3(1) වගන්තිය ප්‍රකාරව එකී තහනම් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයට කරුණු වාර්තා කොට එකී තහනම් නියෝග බලාත්මක කර තිබිණි. ඊට අමතරව 2024.11.11 වැනිදා ද කොළඹ මහාධිකරණයට කරුණු දක්වා එකී පෙත්සම්කරුවන් නමින් වෙනත් බැංකු කීපයක පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුමක්, ඉතිරි කිරීමේ ගිණුම් කීපයක් හා රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහනයක් තහනම් ලක් කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ලියා සකස් කර තිබූ එම නියෝගය සෙසු සාමාජික විනිසුරුවරුන් දෙපොළගේ එකඟත්වය ඇතිව ප්‍රකාශයට පත් කළේය.
සහකාර අධ්යක්ෂ අනුෂා සම්මන්දප්පෙරුම, සහකාර අධ්යක්ෂ ගයා රාජපක්ෂ සමග නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධි නීතිඥ නිවෝදි ද සිල්වා මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පළමු වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ කොළඹ මහාධිකරණ විනිසුරවැරයා වෙනුවෙන් පෙනී සිටියේය.
