ගලෙන්බිඳුණුවැව විදුලි පාරිභෝගිකයන්ට ලක්ෂ ගණන් හිඟ මුදල් ගෙවන්නැයි ලංවිමෙන් අමුතු නියෝගයක්

ගලෙන්බිඳුණුවැව විදුලි පාරිභෝගිකයන්ට ලක්ෂ ගණන් හිඟ මුදල් ගෙවන්නැයි ලංවිමෙන් අමුතු නියෝගයක්

(ගලෙන්බිඳුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)
2020 වසරේ ජනවාරි මාසයේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා කාලසීමාව, විදුලි මනු කියවන්නාන්ගේ අත්තෝමතික මනු කියවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක්, එම පාඩුව පියවා ගන්න පාරිභෝගිකයන් ගෙන් රුපියල් ලක්ෂ ගාණක විදුලි බිල් පැමිණීම නිසා ගලෙන්බිඳුණුවැව විදුලි පාරිභෝගිකයන් රැසක් ඒම බිල්වල වටිනාකම ගෙවා ගැනීමට නොහැකිව අසීරුවට පත්ව ඇතැයි ගලෙන්බිඳුණුවැව අංක 186 යකල්ල ග්‍රාම සේවා තුලානේ උල්පත්පාර හා මහසෙන්පුර විදුලි පාරිභෝගිකයන් පවසා සිටී.
වැඩිදුරටත් අදහස් දක්වමින් ගලෙන්බිදුණුවැව 186 යකල්ල ග්‍රාමසේවා තුලානේ උල්පත්පාර හා මහසෙන්පුර විදුලි පාරිභෝගිකයන් පවසා සිටින්නේ
“අපි අතේ කනේ කරේ බඩු උගසට තියලා ගොවිතැන් කරලා දෛනික ජීවිතය ගත කරන්නේ ගොඩක් අමාරුවෙන්. ගොවිතැන් කළත් හරි ප්‍රතිඵලයක් නෑ. මාසෙන් මාසෙට එදිනෙදා එන විදුලි බිලවත් ගෙවා ගන්න බැරි පසුබිමක් අපිට තියෙන්නෙ. ඒක ගෙවා ගන්න බැරි අවස්ථාවල පත්වෙන අපහසුව අපි විතරයි දන්නේ. මෙහෙම ඉන්න අතර වාරේ තමයි හිටිහැටියේ ගිය අවුරුද්දේ අප්‍රේල් වල ඉඳන් අපිට හිඟ වාරික ගෙවන්න තියෙනවා කියලා ලක්ෂ ගණන් වලින් හිඟ විදුලි බිල් එන්නෙ.මේක අපි කොහොම ගෙවා ගන්නද, අනික අපි කරපු වරදක්ද. මේකට බලධාරි මැදිහත් වෙලා අපිට සාධාරණයක් කරන්න ඕනේ.”

Share This