කෝටි තුනක කුඩු අරන් ගුවනින් ආ ඉන්දීය කරණවෑමියා අත්අඩංගුවට

කෝටි තුනක කුඩු අරන් ගුවනින් ආ ඉන්දීය කරණවෑමියා අත්අඩංගුවට

(කටුනායක ටී.කේ.ජී.කපිල)
රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියකු 26 දින පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 32 හැවිරිදි ඉන්දීය ජාතික කරණවෑමියෙකි. මොහු 26 දින පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ හෙරොයින් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සඟවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පළමු වතාවට මෙරටට පැමිණ ඇති මෙම ඉන්දීය ජාතිකයා මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ.
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
ඔවුන් මේ ගුවන් මගියා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන රඳවා ගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

Share This