කොළඹ පාසල් ළමුන් 230,000ක් මතට අබ්බැහි වෙලා

(හබරාදුව – අනුර ප්‍රියන්ත)
කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.
කොමසාරිස්වරයා මේ බව පැවසුවේ මත් උවදුරින් දරුවන් රැක ගැනීම උදෙසා පවත්වනු ලබන වැඩසටහනකට එක්වෙමිනි.
එකී වැඩසටහන පසුගිය 27දා අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී බන්ධානාගාර කොමසාරිස් ජගත් විරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා මෙසේද පැවැසීය.
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982ක් මත්ලෝලීන්. දකුණු පළාත ගැන කිව්වොත් මීට වඩා දැවැන්ත තැනකට තල්ලු කරනවා කියලා මට විශ්වාසයි. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම්වලින් අංක 1ට යන්නේ. ලංකාවේ බන්ධනාගාරවල වැඩි හරියක් ඉන්නේ තාරුණ්‍යය. ඒ වගේම වැඩියෙන්ම ඉන්නේ සාක්ෂරතාව අඩු මට්ටමක අය.
අවුරදු 05 ට අඩු ළමුන් 42 ක් බන්ධනාගාරතුල ඉන්නේ ඔවුන්ගේ අම්මලා කළ වැරදී නිසායි. අපි හිතමු නඩු අහලා අවුරුදු 10ක් අච්චු කළ කියලා. අවුරුදු 5ක් එයාටයි ළමයටයි අපි එකට ඉන්න දෙනවා. අවුරුදු 05ක් පිරෙන දවසට ළමයයි අම්මයි අපි වෙන්කරනවා. ඒක තමයි මගේ ජීවිතේ දැක්ක ඛේදනීයම අවස්ථාවල්. ළමයා අම්මා ඉල්ලලා කෑ ගහනවා. අම්මා ළමයා ඉල්ලලා කෑ ගහනවා. ඒ දෙන්නට ඒ දෙන්නා විතරයි අවුරුදු 5ක් පුරා හිටියේ. නීතිය හරස් වෙනවා. ඒ නිසා කවදාවත් කාන්තාවක් විදියට වැරදි කරන්න එපා. මේ රජයට මහ දැවැන්ත විදියට උවමනාවක් තියෙවා මත්ද්‍රව්‍යවලින් තොර රටක් නිර්මාණය කරන්න යැයිද වැඩිදුරටත් පැවසීය.
අකුරැස්ස සිංහ සමාජය විසින් සංවිධානය කර තිබුණු මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික්කයේ සිංහාධිපති බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක මෙල්වින්ස් ජෝන්ස්, උදය කුමාර, තිලකරත්න කොඩිතුවක්කු සමග අකුරැස්ස සිංහ සමාජ සාමාජිකයෝ රැසක්ද මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.
