කෙහෙළිය පවුලේ නඩුව පෙබ. 13ට කල්යයි

(අකිලා නදීෂානි බණ්ඩාර)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කරයි.
මෙම නඩුව 12දා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවන ලදී.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13 වැනිදා කැඳවන ලෙස නියෝග කලේය.
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු ගොනු කර තිබේ.
මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා භාර දී ඔවුන් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. විත්තිකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
