කෙහෙළියලාට එරෙහි මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අවසන්

(අකිලා නදීෂානි බණ්ඩාර)
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (09) නියම කළේය.
ඒ අනුව විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙන බවයි.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන නිසා මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බවද සඳහන් කළේය.
ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස නියෝග කළේය.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.